අවුරුදු 30ක් විඳි දුක යළි විඳීමට මම ඉඩ තියන්නේ නැහැ

  👤  3176 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (13).jpg (600×350)

අවුරුදු 30ක් විඳි දුක නැවත වතාවක් මේ රටට අත් නොවන්නට තමන් හමුදාපති හැටියට ඉඩ නොතබන බවත් ඒ සඳහා සැමගේ සහයෝගය අවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවැනි යුද හමුදාපතිවරයා ලෙස පත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිගැනීමට පානදුර කදුරුදුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සංවිධානය කළ පිළිගැනීමේ උත්සව සභාව අමතමින් ඔහු එම අදහස් පළ කළේය.

සභාව ඇමැතූ මහේෂ් සේනානයක මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
"මේ මාසයේ ඉරිදාවන් මට හරි සම්බන්ධයි. පසුගිය සතියට පෙර සතියේ ඉරිදා දිනයේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එදා සවස හරියටම දෙකයි තිස් අටට ජනපතිතුමාගෙන් මට දුරකතන ඇමැතුමක් ලැබුණා. ලොකු අධ්‍යයනයක් කරලා මාව යුද හමුදාපති ධුරයට පත් කරන්න තීරණය කළ බව එතුමන් කිව්වා. මට ඒ ඇමතුමෙන් ලැබුණු පණිවුඩය දරා ගන්න තත්ත්පර ගාණක් විනාඩි ගාණක් ගියා. ඉන් පස්සේ මම අපේ පන්සලේ හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. එතුමා මට කිව්වා හෙට සඳුදා පත්වීම දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ නමුත් ජේ‍යා්තිෂයට අනුව ඒක සඳුදා භාර ගන්න එක හොඳ නැහැ. ඒ නිසා අඟහරුවාදා භාර ගන්න කිව්වා. මම කේන්දරය අරගෙන ගියා මොකද වුණේ කියලා බලන්න. මගේ ලග්නය සිංහ. එතකොට මගේ කේන්දරය බලලා කිව්වා අඟහරුවාදා කියන්නේ යුද්දෙට දවස. එම නිසා පත්වීම් ලිපිය ලැබෙනවානම් ඒක රටට හොඳ අවස්ථාවක් කියලා. ආඩම්බරයෙන් කියන්නේ මේ ලැබිච්ච දුරකතන පණිවුඩයත් මගේ පත්වීමත් මගේ ජීවිතය වෙනස් කළා වගේම මේ රටේ අනාගතයට බලපාන පත්වීමක් වේවි. ඒ වගකීම මම දරනවා. මම ගමේ අය ඉස්සෙල්ලා දැනුවත් කරන්නේ ඒක මගේ ශක්තියක්. ඔබලා මා සමඟ සිටීමත් මම කරදරේ අමාරුවේ වැටුණු අවස්ථාවලදී මාව අතහරින්නේ නැතිව මා සමඟ සිටීමත් මට ශක්තියක්.

මේ කතා අහගෙන හිටියම අවංකවම මට ගැන කියන්න අවශ්‍යතාවක් නැහැ. පසුගිය සතිවල ප්‍රවෘත්ති, පත්තරවල මං ගැන විශාල ලිපි පළ වුණා. මට විශාල වගකීමක් දැන් පැවරිලා තියෙනවා. ඒ සඳහා මම සූදානම් වෙමින් සිටිනවා. යුද හමුදාපති කෙනෙක් ඉන්නේ කතා කරන්න නෙවෙයි. වැඩ කරන්න. එතකොට අද වුණත් මම ලොකු කතාවක් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මම වැඩ කළාට පස්සේ ඔබලා ඒ ගැන කතා කරයි. ඒක තමයි මම බලාපොරොත්තු වන්නේ. දිනාගත්ත නිදහස අනාගත පරපුරට භුක්ති විඳීමට ලබා දිය යුතුයි.

එදා අපි යුද්දෙ දිනුවේ නැත්නම් මමත් එයට සම්බන්ධ වුණේ නැත්නම්, ඕගොල්ලන්ගේ දායකත්වය එයට තිබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ළමයි නැහැ, ළමයින්ට ළමයි නැහැ, ඒ වගේම පරම්පරා දහස් ගාණක් මේ රටේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වෙන්න පුළුවන් අපි කවුරුත් නැහැ. මේක කාන්තාරයක් වෙනවා. ගසුත් නැති වෙයි. මිනිසුන් නැති වෙයි. මම දකින්නේ අපේ පරම්පරාව ඒ රාජකාරිය ඉටු කරලා තියෙනවා.

මම බෞද්ධයෙක් හැටියට විශ්වාස කරනවා පෙර ආත්මවල මම හොඳ කරන්න ඇති. ඒකනේ මම මනුෂ්‍යයෙක් වෙලා ඉන්නේ. ඒ අතරිනුත් මට නායකත්වයක් ලැබිලා මේ තැන ඉන්නේ මම හොඳ කරපු නිසා වෙන්න ඇති. මේ ආත්මේ බලු වැඩ කළොත් එන ආත්මේ බල්ලෙක්. ඒක නිසා අපි තේරුම් ගත යුතුයි අපි කරපු හොඳ ඉදිරියට ගෙනියනවාද ඒක මඟදී කඩලා බලු වැඩ කරලා නැවත බල්ලෙක් වෙනවද කියලා. ඒක නිසා මේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න.

28,000ක සොල්දාදුවෝ මිය ගිහිල්ලා තියෙනවා. මේ ඔක්කොම අපි වෙනුවෙන් නැති කරගත්ත දේවල්. නැවත වතාවක් මේ රට මේ තත්ත්වයට පත් වන්නට අපි ඉඩ නොතැබිය යුතුයි. හමුදාපති හැටියට මගේ පරමාර්ථය සහ ප්‍රාර්ථනය යුද්ධයක් සඳහා මේ රට ගෙනියන එක නෙවෙයි. යුද්ධයකට ගෙනියන්න පුළුවන්. නමුත් යුද්ධයක් ඇති නොවන විදියට මේ රටේ සාමය පවත්වා ගන්න එක තමයි භාරධුර කටයුත්ත. ඕනෑම කෙනෙක්ට පුළුවන් යුද්ධයක් කරන්න. අපේ භාෂාවෙන් කියනවා නම් රෑට බීලා හෙට උදේ වෙඩි තිබ්බත් යුද්ධයක් පටන් ගන්නවා. නමුත් හමුදාව තුළත් ජනතාව තුළත් රට තුළත් ඒක නොකර හික්මීම, විනය ඇති කරගෙන ශක්තිමත් සමාජයක් බිහි කිරීම තුළින් සාරධර්ම තුළින් තමයි අපි මේ ගමන යා යුත්තේ. මම අද කතාවේ හමුදාව ගැන කතා කරන්න යන්නේ නැහැ.

බණ්ඩාරගම - ජීවන් ඉලංගගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්