ලක්ෂ 5කට වැඩි රන් බඩු කොල්ලකෑ සැකකරුවන්ට ඇප නෑ

  👤  3097 readers have read this article !
By mawbima 2017-07-18

කේ.එස්. උදයකුමාර්

පෞරාණික වටිනාකමක් සහිත අකුණු සන්නායකයක් හා රුපියල් ලක්ෂ 05කට අධික රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින බොරැල්ල පොලිසියේ හිටපු පොලිස් නිලධාරීන් 05 දෙනකු ඇතුළු සැකකරුවන් 9 දෙනකු ඇප මත මුදා හැරීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
මේ හේතුවෙන් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් විත්තියේ නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින් සැකකරුවන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ පොලිසිය කියා සිටියේ මෙම සැකකරුවන්ට එරෙහිව ගිනි අවි පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. මේ හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ පොලිසිය මේ හේතුවෙන් සැකකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්