නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රට යන්න කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි

  👤  3086 readers have read this article !
By mawbima 2017-07-18

අමිල අබේරත්න

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී. කේ. පී. දසනායක මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව හමුදා පාඨමාලාවක් හැදෑරීම සඳහා වසරක කාලයක් ඇමෙරිකාවට යෑමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රතික්ෂේප කළාය.

හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයකු වන නිසා දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තිවලට අනුව රට යෑමට අවසර ලබාදිය නොහැකි බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
අධිකරණයට ඉදිරිපත් වී ඇප ලබාගැනීමෙන් අනතුරුව නියමිත ක්‍රියාපටිපාටියට අනුව විදේශ ගතවීමට අවසර ඉල්ලීමට හැකියාවක් තිබෙන බවද විනිසුරුවරිය දන්වා සිටියාය.

පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩී. කේ. පී. දසානායක මහතා සැකකරුවකු ලෙස නම් කර තිබෙන අතර ඔහුව සැකකරුවකු ලෙස නම් කිරීමට සාක්ෂි තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ඩී. කේ. පී. දසානායක මහතා අදාළ සිද්ධියට සැකකරුවකු ලෙස නම් කිරීම හා විදේශගත වීමට අවසර ලබා නොදීම අයුක්ති සහගත බව සඳහන් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ලිඛිත හා වාචික සැලකිරීම් අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිය විසින් ඉදිරිපත් කර තිබූ සියලු ඉල්ලීම් මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරනු ලැබුවාය. පැහැරගෙන ගොස් රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියකට සාධාරණ පැමිණිල්ලක් යටතේ අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයකුට රට යෑමට අවකාශ ලබාදීම නීතියේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
2008 අගෝස්තු 8දා සහ 2008 සැප්තැම්බර් 17දා අතර කාලය තුළ පුද්ගලයන් 11 දෙනා පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සිදු වී ඇත.
අතුරුදන් වූ පුද්ගලයන් 11 දෙනා කොටහේන, දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමදා බුද්ධි අංශයේ හිටපු හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු, හිටපු නාවික හමුදා බුද්ධි අංශ සෙබළුන් දෙදෙනකු සහ හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර සිද්ධියට සම්බන්ධ තවත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු අධිකරණය මඟින් ඇප ලබා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්