නීතිමය පදනමක් නෑ: නඩුව ප්‍රතික්ෂේප කරන්න

  👤  3081 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (11).jpg (600×350)

කේ. එස්. උදයකුමාර්

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යෑමට නීතිමය පසුබිමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන්නැයි රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධතා මතු කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අය නම් කර තිබිණි. එම නඩුව ඊයේ (17දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවකදී රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙම චෝදනා පත්‍ර ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි බව ප්‍රකාශ කළේය. මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙම මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව නඩුව නැවත සැප්තැම්බර් මස 11දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පෙර ලිඛිත විරෝධතා ඉදිරිපත් කරන ලෙසද විත්තියේ නීතිඥවරුන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

2012 වසරේ මාර්තු මස 18දා සිට එම වසරේ අප්‍රේල් මස 14දා දක්වා වූ කාලසීමාව තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් රු. 232,484ක මුදල් යොදවා හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවා දැමීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්