හොඳම අධ්‍යාපනය හා සෞඛ්‍ය ලැබෙන්නේ මෛත්‍රි පාලනයෙන්

  👤  3042 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (10).jpg (600×350)

හොඳම නිදහස් අධ්‍යාපනය සහ හොඳම නිදහස් සෞඛ්‍ය සේවාව ලැබෙන්නේ යහපාලන රජයේ මෛත්‍රි පාලනය යටතේ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පැවැති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ උත්සවයට එක්වෙමිනි.

එම උත්සවය නෙවිල් ප්‍රනාන්දු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම රෝහල පවරා ගැනීමට අදාළ ගිවිසුමට රෝහලේ හිමිකරු නෙවිල් ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස සහ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි ඩී.එම්. ගුණසේකර යන මහත්වරු අස්සන් තැබූහ.
එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේද කීය.

අද මෙරටේ පෞද්ගලික අංශයට ඓතිහාසික වශයෙන් වැදගත් දවසක්. පෞද්ගලික ව්‍යාපෘති ජනසතු කිරීමේ උත්සවවලට මං තරුණ කාලේ ඉඳන් සහභාගි වුණා. සියල්ල රජයෙන් ඉටුකළ යුතුය කියන සමාජවාදී දර්ශනය නිසා ශිෂ්‍ය නායකයෙක් විදියට මං රට පුරා ගියා ඒ විදියට. ලංකාවේ ජනසතු ව්‍යාපාරය මා කියවා තිබෙනවා. ඒ කිසිම තැනක අයිතිකරුවෙක් කැමැත්තෙන් දෙයක් දීලා නෑ. බලහත්කාරයෙන් තමයි ගත්තේ. සමහර ඉඩම්වලට යද්දී රසායනික ද්‍රව්‍ය දාලා තිබුණා ඉඩම් භෝග විනාශ වෙන්න.
එහෙම තමයි අයිතිකරුවෙක් රජයට ව්‍යාපෘති අයිතිය ලැබෙද්දි ක්‍රියා කළේ. නමුත් අද ප්‍රථම වරට මහා ධනස්කන්ධයක් වියදම් කරලා පෞද්ගලික අංශයේ දැනට තිබෙන විශාලම රෝහල කිසිදු හිතේ අමාරුවකින් තොරව සතුටින් භාර දෙනවා ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු මහත්තයා. මෙහි ණය ගෙවන්නත් එතුමාම භාරගෙනයි තියෙන්නේ. මෙය රජයේ ව්‍යාපෘතියක් විදියට අගෝස්තු 1 වැනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මේ වගේ දැවැන්ත රෝහලක් රජය සතුයි. අපේ රටේ තිබෙන ශික්ෂණ රෝහල්වලින් පරිත්‍යාගයක් ලැබුණේ ජපානෙන්. ජයවර්ධනපුර රෝහලේ ඇඳන් 1001ක් තියෙනවා.

ඊටත් වඩා ඇඳන් සංඛ්‍යාවක් තියෙන මේ දැවැන්ත රෝහල අපිට පරිත්‍යාග කිරීම ගැන නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා.
ඇයි අපිට මේ රෝහල පරිත්‍යාග කරන්න එතුමා තීරණය කළේ. මෙරටේ වෛද්‍ය අධ්‍යාපනයේ උන්නතිය සඳහා. එදා වෛද්‍ය සභාව මේ වෛද්‍ය පීඨය පිළිගන්න විශේෂඥවරු 10 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙහි නිරීක්ෂණය කළා. දහදෙනාගෙන් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් ආවේ නෑ. නවදෙනාගේ වාර්තාව සුබවාදීවත් එක් අයකුගේ වාර්තාව අසුබවාදීවත් ආවා. වෛද්‍ය සභාව එක වාර්තාවක් නිකුත් කිරීම සඳහා ඒ දෙක එකතු කළා. එතැනදී තමයි කොන්දේසිවලට යටත්ව මෙහි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දිය යුතුයි කියන එක නොදිය යුතුයි කියලා ආවේ.

සයිටම් ආයතනයේ පුළුල් කිරීම ගැන සාකච්ඡා කළාම නෙවිල් ප්‍රනාන්දු මහතා එකඟ වුණා. පරිපාලනයට තව දක්ෂ පිරිස් එක් කරගන්න එකඟ වුණා. ඒ පැත්තෙන් කළ හැකි හැමදේම කෙරිලා තිබෙනවා. පසුගිය දිනෙක අගමැතිතුමා සමඟ මාත් සාකච්ඡා කළා. අද ලිඛිත සාක්ෂි මෙන්න තියෙනවා. තව සතියක් විතර යද්දී ඉතිරි දේවල්වල සාක්ෂිත් ලැබෙයි. වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න 2ක් තියෙනවා. එකක් වෘත්තීය ප්‍රශ්නය. දෙක දේශපාලන ප්‍රශ්නය. ප්‍රමිතියක් තිබුණේ නෑ වෛද්‍ය අධ්‍යාපනය ගැන. ඒකෙ වැරැද්ද සයිටම් නෙවෙයි. නෙවිල් මහත්තයා අවම ප්‍රමිතිය ඉල්ලලයි මේ වෛද්‍ය විද්‍යාලය සකස් කෙළේ. වෛද්‍ය සභාවේ එදා සභාපතිවරයා දන්වනවා ප්‍රමිතියක් නෑ කියලා. එතකොට වැරැද්ද කාගෙද..? රුසියානු විශ්වවිද්‍යාලයක් සමඟ එකතුවෙලා මෙහි උපාධි ප්‍රදානය කරන්න ඉඩ දෙන්න කියලා මෙතුමා 2010දීත් ඉල්ලනවා. එදා හිටපු සභාපතිවරිය කියනවා රුසියාවත් එක්ක යන්න එපා මේ රටේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් බවට පත් කරන්න කියලා. මේ සියල්ලටම යොමු කළේ එදා වෛද්‍ය සභාව. මේවා දිග්ගැහිලා ඇවිත් 2015 මා සෞඛ්‍ය ඇමැති වුණාට පස්සේ ප්‍රමිතිය ගැන කතා කරලා ලිපි ලේඛන ගෙනැල්ලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකළේ මේ රජයෙන්.

ඊට පස්සේ ඒවා නැවත වෛද්‍ය සභාව ඉල්ලගත්තා. වෛද්‍ය පීඨාධිපතිවරුන්ට, ආචාර්යවරුන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒක මට දෙන්න තිබුණේ ජුනි මාසේ 24 වැනිදා. එදා තමයි මගේ අමාත්‍යාංශයට හමුදාව කඩාගෙන පැන්නේ. නමුත් අද හෙට වෙනකොට එහි පරිවර්තන දෙක ගැසට් වෙනවා. වෛද්‍ය විද්‍යාලයට අවම ප්‍රමිතියක් ලැබුණෙත් යහපාලන ආණ්ඩුවෙන්. මෙරටේ විශ්වවිද්‍යාලවලට ඇතුළු විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඇතුළු වෙන්නේ 17%යි. 83%කටම ‍ෙදාර වහනවා දේශපාලනය. ඒකෙන් 8%ක් යනවා පිටරට. තව 75%කට යන එනමක් නෑ. මේ 75%ට සරසවි ‍ෙදාර විවර කරන්න තනියෙන් රජයකට කරන්න පුළුවන්ද..? කිසිසේත්ම බෑ. අලුතින් සරසවි ‍ෙදාරවල් අරිනවා. මොරටුව, සබරගමුව, කුලියාපිටිය, කරාපිටිය වෛද්‍ය පීඨ විවර කරන්න අපි සූදානම්. ඒ සියලු ‍ෙදාරවල් ඇරියත් අපි තව මුදල් වියදම් කරනවා. මේ කරන්නේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එකද..? රෝහලේ අද ඔෟෂධ හිඟයක් නැතිව ලබාදෙන්නේ නිදහස් සෞඛ්‍ය නිසා නෙවෙයිද..? නිදහස් සෞඛ්‍යයක් මෙහෙම ජනනය කරපු ආණ්ඩු තිබුණද..?

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා
මම සයිටම් එක ආරම්භ කළේ මුදල් උපයන්න නෙවෙයි. ලකුණු එකකින් දෙකකින් කැම්පස් යන්න බැරිවුණු ළමයින්ට සයිටම් නිසා අනාගතයක් ඇතිවුණා. උගත් ළමයින්ටත් අනාගතයක් තිබිය යුතුයි. ඒ නිසයි මං මේක පටන් ගත්තේ. අපේ පවුලේ හැමෝටම දාන දීලා පුරුදුයි. මේ වගේ දානමය පරිත්‍යාගයක් දෙන්න පුළුවන් වීම ගැන මා සන්තෝස වෙනවා. මෙහි ආපු හැම විදේශිකයෙක්ම කිව්වේ මේ රෝහල හරිම පිරිසුදුයි මැස්සෙක්වත් නෑ කියලා. මං රජයෙන් ඉල්ලන්නේ දැන් රජයට පවරා ගැනීමෙන් පස්සෙත් මේ විදියටම මේ රෝහල පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලයි.

පහන් විජේසේකර
ඡායා - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්