හවුලේ වැඩ කරද්දී පොඩ්ඩ බැරි වුණොත් වැඩේ වරදිනවා

  👤  3172 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (9).jpg (600×350)

ශ්‍රී ලංකාවේ අපනයනය වැඩි කළ යුතු බවත්, රටේ ආදායම වර්ධනය කළ යුතු බවත් රටේ බදු ආදායම වැඩි කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. එමෙන්ම ලබන වසර තුන ඇතුළතදී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්ෂ විසිදහසක ණයක් ගෙවීමට තිබෙන බවත් ඒ ණය ගෙවා දැමීමට නම් රටට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (17දා) ප්‍රකාශ කළේ පන්නිපිටිය, වීර මාවතේ 'වියත්පුර' නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා වැඩ ඇරැඹීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.

එහිදී අගමැතිවරයා තවදුරටත් අදහස් දක්වමින්,
2020 වසර වනවිට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතූළත මේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට හැකියි. ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් ඇති කළවිට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනකුට පමණක් සීමා කරන්නට බැහැ. එහි ප්‍රතිලාභ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිපදෙනකු අතර පමණක් නොවේ. අපිට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි. පසුගිය සතියේදී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. නිෂ්පාදනවලට ලැබෙන ලාභය වැඩි වූ විට එහි වාසිය ලාභයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා ලබාදෙන්නේ කෙසේදැයි සාකච්ඡා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද එම ක්‍රියාමාර්ග ගත යුතුයි.

'වියත් පුරය' යනු යහපාලන රජයේ නිවාස යෝජනා ක්‍රමය, නාගරික යෝජනා ක්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතියක් බව කිව යුතුයි.
ජනතාවට සහන ලබාදීම සඳහා තවත් ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. පළමුවැන්න නම් අධ්‍යාපනයයි. වසර 13ක අධ්‍යාපනය අනිවාර්යකොට පාසල් ක්‍රමය දියුණු කිරීමට අප කටයුතු කරනවා. 'හොඳ පාසල් නැහැ, ජාතික පාසල් අවශ්‍යයි' යන චෝදනා එවිට නඟන්නට හැකි වන්නේ නැහැ.
පළාත් සභා සමඟ සාකච්ඡාකොට පළාත් සභා පාසල් ගණනාවක්, ඒ සහ බී ශේ‍ර්ණියේ මධ්‍ය මහා විද්‍යාල බවට පත් කිරීමටත්, එම තත්ත්වය ආරක්ෂා කිරීමටත් ක්‍රියා කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මා සමඟ පැවැසුවා.

ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට දක්ෂකමක් නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් පාසල් අතහැර යනවා. අපේ උත්සාහය වන්නේ එලෙස පාසල් හැර යන අයත්, පාසලේ තබාගෙන එම පිරිසට වෘත්තීය දැනුම ලබාදීමයි. එවැනි දැනුමක් ඇති වෘත්තීයවේදීන්ටත් මේ යුගයේදී හොඳින් මුදල් ඉපැයීමට අවස්ථාව තිබෙනවා. එවැනි අයකු විදේශගත වුවහොත් සාමාන්‍ය උපාධියක් ඇති අයකුට වඩා හොඳ ආදායමක් ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යහපාලන රජය තවත් වෛද්‍ය පීඨ ගණනාවක් මොරටුව, සබරගමුව, වයඹ ආරම්භ කරනවා. අපිට අවශ්‍ය වෛද්‍යවේදීන් ඒ අනුව බිහි කළ හැකියි. මීට අමතරව ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ නිවාස ප්‍රශ්නයයි. ග්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාවට, උතුරේ නිවාස අහිමි වූ ජනතාවට, බිම් අඟලක හෝ හිමිකාරිත්වයක් නොමැති කඳුකරයේ කම්කරු ජනතාවට, කොළඹ පැල්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබාදීම සඳහා අප විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාගරීකරණයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස තට්ටු නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමටද යටිතල පහසුකම් දියුණු කිරීමටද අදාළ කටයුතු සැලසුම් කර තිබෙනවා.

තවත් වසර 10ක් පමණ ගතවනවිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත ආදී ප්‍රදේශ එක් පසෙකිනුත් අනෙක් පසින් ගාල්ල, මාතර දක්වාත් විශාල නාගරීකරණයකට මේ රට ලක්වෙනවා. එම නාගරීකරණය තුළ ජීවත්වීමට තට්ටු නිවාස ක්‍රමය අවශ්‍යයි. නිවාස සම්බන්ධව විශාල ගැටලුවක් තිබෙන්නේ අපේ රටේ වෘත්තීයවේදීන්ටයි. මුදල් නොමැතිවීම, නිවාස සඳහා ණය ලබා ගැනීමට සිදුවීම ආදී ගැටලු ඔවුන්ට බලපානවා. ඒ සඳහා විසඳුමක් ලෙස විදෙස්ගත වී මුදල් සෙවීමට ඇතැමුන් කල්පනා කරනවා.
ඉන් සිදුවන්නේ රටේ ජනතාවගේ සේවය රටට අහිමි වීමයි. එම ගැටලු සඳහා පිළියම් ලබාදෙමින් ලාංකික වෘත්තීයවේදීන්ගේ සේවය ශ්‍රී ලංකාවටම ලබා ගැනීම සඳහා අප මෙම වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. රටේ මධ්‍යම පාන්තික උගතුන්ට, වෘත්තීයවේදීන්ට මෙලෙස නිවාස ලබාදීම සිදුවන්නේ පාඨලි චම්පික අමාත්‍යතුමාගේ යෝජනාවක් අනුවයි. එය රටට අවශ්‍යයි.

ශ්‍රී ලංකාව වැනි රටක් දියුණු වීමට නම් මධ්‍යම පාන්තිකයන් අත්‍යවශ්‍යයි. තමන් නීතිඥයෙක්, වෛද්‍යවරයෙක්, දක්ෂතා සහිත කාර්මිකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වුවත් මධ්‍යම පන්තියට ඇතුළත්වීමේ හැකියාව ඒ සියලු දෙනාට තිබිය යුතුයි.

2015දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ මෙවැනි විශාල වැඩකොටසක් සිදුකිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි. පැරැණි දේශපාලන සම්ප්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුවක් ගෙන යනවා යැයි පැවැසීමට හැකියාව අපිට තිබුණා. නමුත් මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙමින් එක්ව වැඩ කිරීමට අප තීරණය කළා. පසුව ඡන්දයකට මුහුණ දෙනවිට ජනතාව මෙම පක්ෂ දෙකේම ගුණ වර්ණනා කරයි. එවිට ජනතාව පක්ෂ දෙකේම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායී අපේක්ෂකයන් තෝරා ගනීවි. මෙම ක්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමින්.

මේ වනවිට අපිට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කර තිබෙනවා. මේ සියලු වැඩකටයුතු අප සිදුකරන්නේ ජාතික අණ්ඩුවක් ලෙස සියලු දෙනාගේම එකතුවෙන්. එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ වාසියක් ලබාදීමට අප මෙම වැඩකටයුතු කරන්නේ නැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීම යනු ඉතා අසීරු කාර්යයක්. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුවක් රැගෙන යනවා වාගේ යැයි මා පැවැසුවේත් එම නිසයි. ජාතික ආණ්ඩුවක් රැගෙන යනවිට යන්තමින් හෝ අවධානය ගිලිහුණොත් වරදින්නේ කෙසේදැයි සිතා ගැනීමටත් නොහැකි වෙනවා. 'පොඩ්ඩක් බැරි වුණොත් කොහේ ගිහින් වදියිද දන්නෑ' රටට වාසියක් වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යෑමට අප තීරණය කළා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්