රට එකතැන පල් කරන ගුණමකු බවේ ශාපය

  👤  3167 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (6).jpg (600×350)

ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරයක් ගැන අපි කෙතරම් මත දෙඩෙව්වද ලංකාවට ඇත්තේ පාවාදීම්වලින් පිරුණු ඉතිහාසයකි.
ලංකාව ගැන සඳහන් වන පැරැණිතම වෘතාන්තය වන වාල්මීකිගේ රාමායනයේ සඳහන් වන ආකාරයට රාම රාවණා යුද්ධයෙන් මහා බලගතු ලංකාධිපති රාවණ පරාජය වීමට මූලික හේතුව ඔහුගේම සහෝදරයා වන විභීෂණ විසින් කරන ලද පාවාදීමය. රාමායනයට පසු ලංකාව ගැන සඳහන් වන්නේ මහා වංසයේයි. එහි විජය කුමරු ලංකාවට ගොඩබැස්ස විට කුවේණිය ලංකාව එකල පාලනය කළ තම පරපුර පවාදුන් සැටි සඳහන් වෙයි.

විජයගෙන් පසු අවම වශයෙන් එක ශත වර්ෂයක්වත් ස්ථාවර රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන්නට ලංකාවේ පාලකයන්ට නොහැකිවූයේ විටින් විට බල ලෝභය වෙනුවෙන් එකිනෙකා නසාගත් නායකයන් නිසාය. වසර දෙදහසක් පුරා විටින් විට ලංකාව තුළ චෝල බලය පැතිර ගියේ ඒ ආකාරයට සිංහල රජුන්ගේ පාලනය දුර්වල වීම නිසාය.

කෙසේ වෙතත් 14 වැනි සියවස වනවිට ලංකාව යුරෝපය හා සමමට්ටමක පැවැති බව ඉතිහාසය හදාරන විට පෙනී යයි. ලංකා ඉතිහාසයේ රට එක්සේසත් කළ රජවරුන් අතළොස්සක් අතරින් අවසානයා 6 වන පැරකුම්බාහු මහ රජුය. ඔහුගේ රාජ්‍ය කාලයේ රටේ සාමය ඇති වූවා පමණක් නෙවෙයි සාහිත්‍ය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, නක්ෂත්‍ර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි විවිධ විෂයන්හි රටේ විශාල පිබිදීමක් ඇති විය. කාව්‍යශේකරය, පරෙවි සන්දේශය, සැලලිහිණි සන්දේශය වැනි සාහිත්‍ය නිර්මාණ අපට හඳුන්වා දුන් ශඩ් භාශා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිටියේද ඒ සමයේය.

ගුත්තිල කාව්‍ය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, සද්ධර්මරත්නාවලිය ලියැවෙන්නේද එම යුගයේමය. කෝට්ටේ නගරය එදා කෙතරම් දියුණු නගරයක්ද යත් නගරයේ එක කෙළවරක වහලයකට නැඟී සැවුලකුට නගරයේ අනෙක් කෙළවරට යනතෙක් වහලවල් උඩින් පැන පැන යා හැකි වූ බව ජන ව්‍යවහාරයේ කියැවේ. නමුත් බලය වෙනුවෙන් ලංකාවේ පාලකයන් එකිනෙකා පාවාදීම නිසා යුරෝපීයයන්ට ඉන් ශත වර්ෂ කිහිපයක් ඇතුළත ලංකාව යටත් විජිතයක් කරගන්නට හැකි විය.
පෘතුගීසි සෙවණේ වැඩී ගැතිකම් කළ ‍ෙදාන් ජුවන් ධර්මපාල රජු තෑගි ඔප්පුවකින් ලංකාව පෘතුගීසි මහරජුට ලියා දෙන්නට තරම් පරගැති විය. ලංකාව ව්‍යවස්ථා සංශෝධන හරහා දෙකඩ කර හෝ බලයේ රැඳී සිටින්නට අද උත්සාහ කරන පරපුටුවන් දෙස බලන විට ‍ෙදාන් ජුවන් ධර්මපාලගේ මානසිකත්වය අමුත්තක් නොවේ.

එතෙක් කිසිදු යුරෝපීය ජාතියකට යුද්ධයකින් යටත් කරගත නොහැකි වූ කන්ද උඩරටද 1815දී තම ආධිපත්‍යය යටතට ගෙන සමස්ත ලංකාවම යටත් විජිතයක් කරගන්නට ඉංගී්‍රසීන්ට හැකි වූයේ දෙවැනි පෙළ නායකයන් විසින් කළ තවත් මහා පාවාදීමක ප්‍රතිඵලයක් වශයෙනි. 1817දී ඉංගී්‍රසි පාලනයට එරෙහිව ඇරැඹුණු වෙල්ලස්සේ කැරැල්ල පාවා දෙනු ලැබුවේ එක්නැලිගොඩ අදිකාරම් ඇතුළු සිංහල දේශද්‍රෝහීන් පිරිසක් විසිනි. ඒ නිසා නූතන එක්නැලිගොඩ නෝනා ජිනීවාවල ජාතිය පාවාදෙමින් රඟන රැඟුම් පරම්පරාගත පුරුද්දක් මිස අමුතු දෙයක් නොවේ.

ලංකා ඉතිහාසයේ අපට සැබැවින්ම ආඩම්බර විය හැකි පරිච්ඡේද කිහිපයක් ඇත. දුටුගැමුණු රජු එළාර පරාජය කිරීම, ලංකාව පෙරදිග ධාන්‍යාගාරයයි නම් ලත් මහා පරාක්‍රමබාහුගේ ස්වර්ණමය පාලන සමය, මහා විජයබාහු හා වළගම්බා රජවරුන් චෝළයන් පරදවා රට එක්සේසත් කොට විනාශ වෙමින් පැවැති බුදු දහම යළි ස්ථාපිත කිරිම, 6 වන පැරකුම්බා යටතේ සිදුවූ කලා හා සංස්කෘතික පුනරුදය ඒ අතර වේ.

ඉන් පසු මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන්ට යළිත් ජාතිවාත්සල්‍යය ඇති කළ සුවිශේෂී සිදුවීම වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුද වැදුණ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් කිසි දිනෙක පරාජය නොකළ හැකි යැයි බටහිර උපදේශකයන් කී ප්‍රභාකරන්ගේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් සහමුලින්ම පරාජය කොට රට මුදා ගැනීමයි.

ජේ. ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම එල්. ටී. ටී. ඊ.යේ ත්‍රස්ත ක්‍රියාවන්ට මුහුණ දුන් අතර 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය අවසන් කරන්නේ යුද්ධයෙන්මය යන දැඩි තීරණයට එළැඹෙන තුරු ඔහුටත් ඔහුට පෙර සිටි සෑම රාජ්‍ය නායකයකුටමත් ලංකාවේ ත්‍රස්තවාදය විසඳීමට බාධා කළේ විදේශ බලවේගය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයේ කුරීරුකම් අත්දකිමින් සිටි අපට මහා බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් දිගින් දිගටම අවවාද කළේ ඉවසීමෙන් කටයුතු කොට ත්‍රස්තවාදීන් හා සාකච්ඡාවෙන් ප්‍රශ්න විස¼දා ගන්නා ලෙසය. වෙනකක් තබා ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කළ යුද්ධයේ අතිශය තීරණාත්මක අවස්ථාවක් වූ 2009 අප්‍රේල් මස බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිය විදේශ ඇමැති ඩේව්ඩ් මිලිබැන්ඩ්ව ප්‍රංශයේ විදේශ ඇමැති බර්නාර්ඩ් කුෂ්නර් ද සමඟ ලංකාවට එව්වේ කෙසේ හෝ ශ්‍රී ලංකාවට බලපෑම් කොට මුලතිව්වල කොටු වී සිටි ත්‍රස්ත නායක ප්‍රභාකරන් ගලවාගෙන බෙදුම්වාදයට තවත් අවස්ථාවක් ලබාදෙන්නට බව අපට අමතක කළ නොහැකිය.

වාසනාවකට මෙන් එදා ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ කොන්ද පණ ඇති මිනිසෙක් නිසා හිස් අතින්ම ආපසු යන්නට ඩේවිඩ් මිලිබැන්ඩ්ට හා බර්නාර්ඩ් කුෂ්නර්ට සිදුවිය.
ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය එදා ගත් මෙම කාලෝචිත තීරණය බටහිර බලවේග ඉවසුවේ නැත. ඔවුන් එය සැලකුවේ තම අභිමතයට එරෙහිව කුඩා රටක් විසින් කළ අභියෝගයක් ලෙසය. 2009 සිට මහින්ද රාජපක්ෂ 2015 බලයෙන් ඉවත්වන තුරු දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට අරියාදු කළේ එබැවිනි. ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් අවසන් කළ රණවිරුවන් වරදකරුවන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව පරීක්ෂණ කිරීමට යෝජනා පිට යෝජනා ගෙන එන ලද අතර අලුතින් පත්වූ යහපාලන රජය විසින් මේ යෝජනාවලට සම අනුග්‍රහය දක්වන තරම් නින්දිත තත්ත්වයකට අප රට පත්කරන ලදී.

අද ලංකාවේ බොහෝ දෙනකුට අතීතය මතක නැත. ත්‍රස්තවාදයෙන් සාමාන්‍ය ජනජීවිතය මොනතරම් අවුල්ව ජනතාව කෙතරම බියෙන් දිවි ගෙව්වාද යන්න ඔවුන්ට මතක් කරදීම සඳහා ත්‍රස්තවාදය අපේ ‍ෙදාරකඩටම පැමිණි අවස්ථා කිහිපයක් පමණක් පහත දක්වා ඇත.

* 1985 මැයි 14දා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයන් විසින් ශ්‍රී මහා බෝධිය අබියසදී සාමාන්‍ය වැසියන් 120ක් මරා දමා 85 දෙනකුට තුවාල කරන ලදී.
* 1987 අප්‍රේල් 17දා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 12ක් මරාදමා, 44කට තුවාල සිදු කරන ලදී.
* 1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොළේ පිපිරවූ බෝම්බයකින් 106 දෙනකු මියගොස් 295 දෙනකුට තුවාල සිදුවිය.
* 1987 ඔක්තෝබර් 6දා මඩකළපුව තැපැල් දුම්රියට ගිනි තැබීමෙන් 40 දෙනකු මියගොස් 24 දෙනෙක් තුවාල ලැබූහ.
* 1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බෝම්බයක් පුපුරා 23 දෙනකු මියගිය අතර 106 දෙනකුට තුවාල සිදු විය.
* 1989 අප්‍රේල් 13දා ත්‍රිකුණාමල නගරයේ කාරයක තිබූ බෝම්බයකින් 51 දෙනකු මියගොස් 43කට තුවාල සිදුවිය.
* 1990 අගෝස්තු 3දා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයන් විසින් මඩකළපුවේ කාත්තන්කුඩිවල පල්ලියකට පහරදී 147 දෙනකු මරා දමන ලද අතර 70 දෙනකුට තුවාල සිදුවිය.
* 1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34 දෙනකු මරාදමා තිබිණි.

* 1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුළ බෝම්බ පිපිරීමකින් 28 දෙනකු මියගොස් 36 දෙනකුට තුවාල සිදුවිය.
* 1994 ඔක්තෝබර් 24දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් තොටළඟදී 54 දෙනකු මරාදමන ලද අතර 72කට තුවාල සිදුවිය.
* 1995 අගෝස්තු 7දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් නිදහස් චතුරස්‍රය අසලදී 23 දෙනකුට මරු කැඳවන ලද අතර 40 දෙනකුට තුවාල සිදුවිය.
* 1996 ජනවාරි 31දා මහ බැංකුවට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් 80 දෙනකු මියගොස් 1,200ක් තුවාල ලැබූහ.
* 1996 ජූලි 24දා දෙහිවල දුම්රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57 දෙනකු මියගොස් 356ක් තුවාල ලැබූහ.
* 1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බෝම්බයක් පුපුරුවා හැරීම නිසාය.
* 1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්තවාදීන් විසින් බිම හෙළීම නිසා සාමාන්‍ය වැසියන් 54 දෙනකු මරණයට පත්විය.
* 1999 දෙසැම්බර් 18දා ටවුන්හෝල්හිදී ඡන්ද රැස්වීමකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනකු මියගොස් 106 දෙනකුට තුවාල සිදුවිය.
* 2000 ජුනි 7දා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු විසින් රත්මලානේදී 24 දෙනකු මරාදමන ලද අතර 60 දෙනකුට තුවාල සිදුවිය.
* 2000 නොවැම්බර් 28දා අනුරාධපුරයේදී පුපුරා ගිය ක්ලේමෝ බෝම්බයක් නිසා 16 දෙනකු මියගොස් 36 දෙනෙක් තුවාල ලැබූහ.
* 2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බෝම්බ දෙකක් පුපුරා 64 දෙනකු මියගොස් 87 දෙනකුට තුවාල සිදුවිය.
* 2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මියගිය අතර 65 දෙනකුට තුවාල සිදුවිය.
* 2008 ජුනි 6දා කටුබැද්දේදී බසයක් තුළ බෝම්බයක් පුපුරා 23 දෙනකු මියගිය අතර 28 දෙනෙක් තුවාල ලදහ.
* 2008 ඔක්තෝබර් 6දා එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් අනුරාධපුර ඡන්ද රැස්වීමකට සහභාගි වී සිටි 27 දෙනකු මරාදමා 84 දෙනකුට තුවාල සිදුකරන ලදී.

මෙහි සඳහන් නොවූ එවැනි තවත් ත්‍රස්ත ක්‍රියා සිය ගණනක් එකල සිදුවූ අතර එවැනි යම් අනතුරක් රටේ කොහේ හෝ ප්‍රදේශයකින් වාර්තා නොවූ මාසයක් මෙම යුගය තුළ නැති තරම්ය.

වර්තමාන යහපාලන රජය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්ය භාරයක් බටහිර රටවල්වලින් ඉටුකරන ලද බව අද රහසක් නොවේ. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම එය තමන්ගේ දායකත්වයෙන් වූවක් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර නව රජයට සුබපැතුම් එවන්නටත් අවවාද කරන්නටත් බටහිර රටවල් දිව ආවේ එක පොදියටය.

ඔවුන් මේ උපකාරය කළේ නිකමට නොවන බවත් බලය ලබාදීම සඳහා කළ උදව්වට වන්දි ගෙවිය යුත්තේ අපේ රණවිරුවන් පෝරකයට යවා බවත් තේරුම් ගන්නට එදා පටන් ඊනියා මානව හිමිකම් කොමිසම හමුවේ යහපාලන රජයේ ක්‍රියාකලාපය හොඳටම ප්‍රමාණවත්ය.

ආත්ම ගෞරවයක් තිබෙන පාලකයෙක් කිසිවිටෙක තම රණවිරුවන් පාවා දෙන්නේ නැත. එවැන්නක් කිසි දිනක ඇමෙරිකාවෙන්, රුසියාවෙන්, චීනයෙන්, එංගලන්තයෙන් අසන්නට නොලැබේ. පසුගියදා මහා බි්‍රතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ මහත්මිය ප්‍රකාශයක් කරමින් කීවේ මානව හිමිකම් මුවාවෙන් තම රටේ රණවිරුවන්ට දඬුවම් කිරීමට කිසිදා ඉඩ නොතියන බවත් අවශ්‍ය නම් තම රටේ මානව හිමිකම් නීති වෙනස් කොට හෝ ඔවුන් රැකගන්නා බවත්ය. එහෙත් අපේ රට?
බටහිර හාම්පුතුන් සතුටු කරන්නට රණවිරුවන් තොගපිටින් පාවාදීමේ වැඩපිළිවෙළේ මූලික වැඩ කටයුතු ලංකාව තුළ ලහි ලහියේ සිදුවෙමින් පවතී. ඒ සඳහා ලංකාවේ පවතින නීති මදි නිසා ආණ්ඩුව පනත් පිට පනත් සම්මත කරමින් අපේ රණවිරුවන්ට ඇති ආරක්ෂාව ඉවත් කරමින් සිටියි.
ඒ අතර රණවිරුවන්ට එරෙහිව පරීක්ෂණ රැසක්ද දියත්වී ඇත. පසුගිය සතියේ සිදුවූ නාවික කොමදෝරු ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගැනීමද එම ක්‍රියාදාමයේ තවත් පියවරකි.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ යුද සමයේ තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට අනුබල දීමය. මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේ වත් හානියක් නොකර ඔවුන්ට අභයදානය ලබාදුන් මිනිසාටය.
ශ්‍රී ලංකා රජය මේ පවාදෙන්නේ කාවද? කුඩා බෝට්ටු 700කින් පමණ පැමිණි සිවිල් වැසියන් 13,000කට ආසන්න ප්‍රමාණයකට නාවික හමුදා රැකවරණය දුන් මිනිසකුටය. නාවික හමුදා ඉතිහාසයේ විශාලම මෙහෙයුම වූ, ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැරවුම් ලක්ෂ්‍යවූ මහ මුහුද මැද එල්. ටී. ටී. ඊ. ආයුධ ගබඩා විනාශ කළ සාගර බලය මෙහෙයුමේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරයාය.

යුද්ධය අවසාන කාලයේ අඹු දරුවන් බලන්නටවත් ගෙදර නොගොස් මුලතිව් මුහුදේ නාවික වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමින්. එක් ත්‍රස්තවාදියකුට හෝ මුහුදෙන් පැන යන්නට ඉඩ නොදී මේ සිරිලක ත්‍රස්තවාදයෙන් සහමුලින් ගලවා ගන්නට මහඟු සේවයක් කළ රණවිරුවකුවය. ත්‍රස්තවාදයට එරෙහිව අභීතව සටන් කොට නාවික හමුදාපතිවරුන් සිවු දෙනෙක් යටතේ ප්‍රශංසා ලේඛන 10ක් ලද, රණවික්‍රම පදක්කම් 04ක් දිනා ගත්, රණශූර පදක්කමක් දිනාගත් අපේ කාලයේ වීරයකුවය.
ඉතින් අපි මොන තරම් ගුණමකු ජාතියක්ද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්