සයිටම් ප්‍රශ්නයට විසඳුම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම නොවේ

  👤  3078 readers have read this article !
By mawbima 2017-07-18

ජේ.ටී. ද සිල්වා

"සයිටම්" ප්‍රශ්නය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන සාකච්ඡා අඩාල කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රබල උත්සාහයක යෙදෙන බැවින්, ඇමැතිවරයාගේ හැසිරීම පාලනය කරන ලෙස එම සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
මේ රටේ දෙවැනි පුරවැසියා වශයෙන් "සයිටම්" ප්‍රශ්නය විසඳීමට අගමැතිවරයා අවංක උත්සාහයක යෙදෙන මේ අවස්ථාවේ, සෞඛ්‍ය ඇමැතිවරයාගේ හැසිරීම තුළ, එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයෑමට බාධා එල්ලවී ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ චෝදනා කරයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට ප්‍රචාරය කර, එම රෝහල ඊයේ රජයට පවරා ගැනීමක්, සිදුකළ බව සඳහන් කළත්, එම රෝහල සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ වංචාකාරී, ප්‍රෝඩාකාරී තත්ත්වය තුළ මේ ආයතනය නීතිගත කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එරෙහිව ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ලේකම්වරයා අවධාරණය කළේය.

මේ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා තම සංගමය ජනාධිපතිවරයාගේ සිට වගකිවයුතු සෑම කෙනකුටම දැනුම්දුන් බවත්, මහ නාහිමිවරු, අගරදගුරු ඇතුළු ආගමික නායකයන් මෙන්ම, දේශපාලන නායකත්වයට මේ ප්‍රශ්නයට මැදිහත්වන ලෙස ඉල්ලීම් කළ බවත් එම සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

මේ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් බව තේරුම්ගත් පසු, ඒ සඳහා විසඳුම් සෙවීමට රටේ පාලකයන්ට සිදුවූ බවත්, ඒ අනුව ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීමට ගිය හැම අවස්ථාවකදීම සෞඛ්‍ය ඇමැතිවරයා විවිධ බාධා ඇති කළ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.
ඇමැතිවරයාගේ දේශපාලන උම්මත්තකභාවය, වියරුව තවත් පැත්තකින් ක්‍රියාත්මක කරනවා නම්, "සයිටම්, ප්‍රශ්නය විසඳීමේදී එය බාධකයක් වන බවත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් ප්‍රශ්නයට විසඳුම නොලැබෙන බවද එම සංගමයේ ලේකම්වරයා පැවැසීය.

"එළැඹෙන බදාදා, සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ එක්වී, අලුතෙන් වෛද්‍ය සංගමයක් හදන බවට තොරතුරු ලැබී ඇතැයිද, එම සංගමයේ විශේෂ උපදේශක තනතුරත් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ලබාදීමට යන බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකඩ කිරීමේ උත්සාහයක යෙදෙන බවටත් තොරතුරු අනාවරණය කළේය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෛද්‍ය සභාවේ අනුමැතියක් ලැබී නැතැයිද, එවැනි රෝහලක් රජයට පවරා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා එම රෝහලේ සිටින නියමිත සුදුසුකම් නොමැතිව තනතුරු දරන කාර්ය මණ්ඩලයේ සිටින අය රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්