ගොකරැල්ල පොලිසියේ 17කට දුර බැහැරට ස්ථාන මාරු

  👤  3103 readers have read this article !
By mawbima 2017-07-18

කුරුණෑගල - සම්පත් සෙනවිරත්න

ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් ඇතුළු 17 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 13දා සිට දුර බැහැර පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරු ලබාදී තිබේ.

වයඹ පළාත් භාර ජේ‍යෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුව මෙසේ හදිසි ස්ථාන මාරු ලැබූ නිලධාරීන් පිරිස අතර මැල්සිපුර පොලිස්
මුරපොළෙහි ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරු ඇතුළු පොලිස් කොස්තාපල්වරු පිරිසක්ද ගොකරැල්ල පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය ඇතුළු කාන්තා නිලධාරිනියන් අට දෙනෙක් (8) ඇතුළත්ව සිටිති.

ඉකුත් යුද සමයේ ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් පිරිසක්ද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න කියා සිටින කිහිපදෙනෙක්ද මෙසේ හදිසි ස්ථාන මාරු ලැබූ පිරිස අතර වෙති. මේ පිරිස අතර සිටින සමහර ආබාධිත නිලධාරීන් පසු කලෙක නොයෙක් සැත්කම්වලට භාජන වී මේ වන විට වෛද්‍යවරුන් නිර්දේශ කළ ආහාර වට්ටෝරු භාවිත කරන අය වන අතර මෙසේ හදිසියේ පිට පළාත්වලට ස්ථාන මාරු ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ නිලධාරීන් පිරිස කුරුණෑගල, වැල්ලව, පොල්ගහවෙල, මීගලෑව, වාරියපොළ, රිදීගම, පොතුහැර යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇත. ගොකරැල්ල පොලිසියේ සේවය කරමින් සිටි නිලධාරීන් විශාල පිරිසකට එකවර ස්ථාන මාරු ලැබූ මුල්ම අවස්ථාව මෙය බවද වාර්තා වෙයි.

මෙම ස්ථාන මාරු පිළිබඳව විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. මැල්සිරිපුර, මඩහපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ප්‍රදේශයේ මිනී මැරුම් හා තවත් අපරාධවලට සම්බන්ධ චෝදනා ලැබ සිටින කළු බණ්ඩා නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම මෙම ස්ථාන මාරු දීමට ආසන්නතම හේතුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්