මාතලේ හා දඹුල්ල පොලිස් නිලධාරීන් තිදෙනකු ගැන පරීක්ෂණයක් ඉල්ලා රන්ජිත් අලුවිහාරේගෙන් කොමිසමට ලිපියක්

  👤  3112 readers have read this article !
By mawbima 2017-07-18

දඹුල්ල - ධම්මික නාමල් කෝරාල

මාතලේ හා දඹුල්ල පොලිස් බල ප්‍රදේශයන්හි ඉහළම වගකීම් දරන පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රන්ජිත් අලුවිහාරේ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.

දඹුල්ල මහා නගර සභාවේ කොමසාරිස්වරිය විසින් දඹුල්ල නගරයේ රාජ්‍ය දේපළක් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ දඹුල්ල පොලිසියේ නිලධාරීන් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකු විසින් ඇයට අලවංගුවකින් පහරදීමට උත්සාහ කිරීම, පොලිස් නිලධාරීන් උත්සාහය නොවැළැක්වීම, පිළිගත් සිවිල් සේවා නිලධාරිනියක වූ කොමසාරිස්වරියට එරෙහිව රජයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක තිබුණේ යැයි සඳහන් කරන බඩු භාණ්ඩ සොරා ගැනීමකට පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රසිද්ධියේ අදාළ ව්‍යාපාරිකයා නොහොබිනා ආකාරයෙන් බැන වැදීමට එරෙහිව කටයුතු නොකිරීම, නාගරික කොමසාරිස්වරියට සිදුවූ කාන්තා හිංසනයට එරෙහිව පොලිසිය කටයුතු නොකිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක වන නාගරික කොමසාරිස්වරිය නීති විද්‍යාලයේ නීති විභාගයද සමත්ව ඇති බවත් එක් දරු මවක් වන ඇය පොලිසියේ මේ ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ජීවිතයද අනාරක්ෂිතව ඇති බව පෙන්වා දෙන අලුවිහාරේ මහතා පෞද්ගලික අවශ්‍යතාවක් නොව රජයේ අවශ්‍යතාවකට ඉදිරිපත්වීමේදී ඇයට අභූත චෝදනා ඉදිරිපත් කිරීමෙන් හා කිසිදු සහනයක් ලබා නොදීමෙන් හා තවදුරටත් අපහසුතාවට ලක්කිරීමෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් රජය උපරිම සේවාවක් ලබාගන්නේ කෙසේදැයි ගැටලුවක් බවද ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකර විමර්ශනයක් කරන ලෙසද ඉල්ලා සිටියි. මේ පිළිබඳව ඉකුත් 14 වැනිදා පැවැති මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී නාගරික කොමසාරිස්වරිය තමා මුහුණදුන් කටුක අත්දැකීම හා අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම නිසා තමාට බලපෑම් එල්ල වී ඇතැයිද අනාවරණය කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්