අයාලේ යන සුනඛයන් අල්ලා විනාශ කිරීමේ කිසිදු සැලැස්මක් නෑ

  👤  3141 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (4).jpg (600×350)

සපුමල් ජයසේන

නගර පිරිසුදු කිරීම ව්‍යාපෘතිය යටතේ අයාලේ යන සුනඛයන් අල්ලා විනාශ කිරීමේ කිසිදු සැලැසුමක් නැතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ කසළ කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබඳව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා "තිරසර යුගයක් පිරිසුදු පුරයක්" මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (17දා) පවත්වන ලද වැඩමුළුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
නගරයේ කසළ ගොඩගැහිලා. ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිරී යනවා. ඒ අතරේ අයාලේ යන සුනඛයන්ගේ ප්‍රශ්නයත් උග්‍ර අර්බුදයක් බවට පත්වෙලා. සමහරු කියලා තිබෙනවා ෆයිසර් මුස්තාපා බල්ලො මරන්න සූදානම් වෙනවා කියලා. මේක සිංහල බෞද්ධ රටක්. අපට සතකුට හිංසාවක් කරන්න බැහැ. මම කවදාවත් බල්ලො මරල අයාලේ යන සුනඛයන්ගේ ගැටලුව විසඳන්න සූදානම් නැහැ.

අපි අද කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න අඩිතාලම දානවා. කසළ කළමනාකරණයේ වගකීම තිබෙන්නේ පළාත් පාලන ආයතනවලටයි. එම පළාත් පාලන ආයතනවලට ඇති සම්පත් කාර්යක්ෂමව යොදාගැනීම කළයුතු වෙනවා.

කසළ කළමනාකරණයට සෑම දිස්ත්‍රික්කයකම මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුයි.
එහිදී කසළ කළමනාකරණ ආයතන අධ්‍යක්ෂ ඒ ඒ ඉලංගසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
"මාර්ග සහ ගෘහස්ථ කසළ එක්රැස් කිරීම, ප්‍රවාහනය, බැහැර කිරීම මෙන්ම කසළ සම්පතක් බවට පත්කර ගැනීමේ වගකීම ඇත්තේ පළාත් පාලන ආයතනවලටයි. මේ වසරේදී අලුතින් තවත් කසළ ප්‍රවාහන රථ 280ක් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා.

සෑම පළාත් පාලන ආයතනයක්ම කොම්පෝස්ට් අංගණයක් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලිය සඳහා අදාළ කසළ රැස්කර තබා ගැනීම පිණිස ගබඩා පහසුකම්ද සපයා ගත යුතු වෙනවා.

අපගේ සැලැසුම සෑම දිස්ත්‍රික්කයකටම සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානයක් සහ කසළ දහන ඒකකයක් ලබාදීමයි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් ආයතන පහකින් වසරකට පොලිතින් මලු මිලියන 26ක් පරිසරයට මුදා හරිනවා. පොලිතින් මලු වෙනුවට ප්‍රතිචක්‍රියකරණය කළ හැකි මලු හඳුන්වාදීමට අප ඒ සුපිරි වෙළෙඳසල් ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්