ඉන්දියාවේ ඉන්න අංගොඩ ලොක්කාගේ ලංකාවේ රූකඩයා අල්ලයි

  👤  3549 readers have read this article !
By mawbima 2017-07-18

චාමර අමරසූරිය

ඉන්දියාවේ බන්ධනාගාරයක සිටිමින් මෙරට ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත්කරුවකුට දුරකතනය හරහා සම්බන්ධ වෙමින් කප්පම් මුදලක් පාතාල නායක අංගොඩ ලොක්කා විසින් ඉල්ලීම සහ ඔහුගේ කීමට...එම කොන්ත්‍රාත්කරුගේ මුල්ලේරියාවේ පිහිටි ආයතනයට වෙඩි වරුසාවක් එල්ල කිරීමේ චෝදනා මත "පෙතියාගොඩ සංඛ" නමැති පාතාල සාමාජිකයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයකු වන පෙතියාගොඩ සංඛ නමැත්තා ඊට පෙර සිදු කළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අස්සන් තැබීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණි පසු පෙරේදා (16දා) අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම කොන්ත්‍රාත් හිමිකරුට අංගොඩ ලොක්කා ඉන්දියාවේ බන්ධනාගාරයක වෙසෙමින් කිහිප වතාවක් දුරකතනය හරහා කප්පම් මුදල් ඉල්ලා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඉකුත් 13 වැනිදා පෙරවරුවේද අංගොඩ ලොක්කා කොන්ත්‍රාත් හිමිකරුට දුරකතනය හරහා සම්බන්ධ වී රුපියල් ලක්‍ෂ 5ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත. නමුත් ඊට අකැමැත්ත පළ කළ නිසා අංගොඩ ලොක්කා කොන්ත්‍රාත්කරු බිය වැද්දීම සඳහා නාඳුනන තුවක්කුකරුවකු එදින පස්වරුවේ එවා තිබිණි.
යතුරුපැදියක පැමිණි එම නාඳුනන තුවක්කුකරු මුල්ලේරියාව පොලිස් වසමේ පිහිටි කාන්ත්‍රාත් ආයතනයේ මුරකුටියට, ගොඩනැඟිලිවලට සහ එහි තිබූ වාහන හයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබිණි. එම වෙඩි ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර තිබූ බවද පොලිසිය පවසයි.
ඉකුත් 2016 වසරේදී මුල්ලේරියාව ප්‍රදේශයේම පදිංචිව සිටි ඉඩම් ගොඩකරන්නකු වූ රකිල් නමැත්තා අංගොඩ ලොක්කාගේම කොන්ත්‍රාත්තුවකට පෙතියාගොඩ සංඛ විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එම සිද්ධියට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිකරණයෙන් ඇප ලබා මීට දින 14කට පමණ ඉහතදී පැමිණ තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ ඔහු සිටින කාලය තුළදී ද මෙම කොන්ත්‍රාත්කරුගෙන් වැලි ටිපර් රථයකින් රුපියල් 2000 බැගින් කප්පම් ඉල්ලා තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහත් ආන්දෝලනයට තුඩුදුන් 'සමයං' ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලැඩියා යන පාතාල නායකයන් දෙදෙනා ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ්ගේ රැකවරණ මත ඉන්දියාවට පලා ගිය අතර ව්‍යාජ ගමන් බලපත්‍රවලින් එරටින්ද පලා යෑමට උත්සාහ දැරීමේදී එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය.

ඊට අදාළ නඩුව එරට අධිකරණයක විභාග වන අතර ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර ඇත.
නමුත් එම බන්ධනාගාරයෙහි වීසා නොමැතිව සිටින විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයක මොවුන් දෙදෙනා රඳවා ඇති අතර සැකකරුවන්ට දුරකතන පහසුකම් සහ නිදැල්ලේ හැසිරීමේ පහසුකම් ඇතැයිද වාර්තා වේ.

එම පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් අංගොඩ ලොක්කා මේ වන විට කප්පම් ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්