පාසල් නිල ඇඳුම් වෙනස් කරගන්න විදුහල්පතීන්ට උපදෙස්

  👤  3025 readers have read this article !
By mawbima 2017-07-18

දයා පෙරේරා

ඩෙංගු රෝග අවදානම බහුල ප්‍රදේශවල පාසල් ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින සිසුන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගත හැකි පරිදි පාසල් නිල ඇඳුම වෙනස් කර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතීන්ට නියම කරයි.

එම සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සඳහා ශරීරය ආවරණය වන පරිදි දිගු කලිසමක් හා අත් දිග කමිසයක් හෝ ටී ෂර්ටයක් සුදුසු පරිදි භාවිත කිරීමට සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සියලු විදුහල්පතිවරුන්ට නව චක්‍රලේඛයකින් දැනුම් දී ඇත.
ශිෂ්‍යාවනට ගවුමට අමතරව දිගු කලිසමක්ද අදාළ සිසුනට දිගු කලිසමක්ද සිසු සිසුවියන් දෙපිරිසටම අත් වැසෙන පරිදි කමිසයක් හෝ ටීෂර්ටයක් ඇඳීමට හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ශිෂ්‍යාවන් සඳහා වන දිගු කලිසම කළු හෝ සුදු වර්ණයෙන්ද සිසුන්ගේ දිගු කලිසම නිල් හෝ සුදු වර්ණයෙන්ද යුක්ත වන්නේ නම් වඩා සුදුසු වුවත් පාසලට ගැළපෙන පරිදි වර්ණය තෝරා ගැනීම විදුහල්පතිට පැවැරී ඇත.

පාසල් දරුවන් ඩෙංගු උවදුරට ලක්වන කාලයන් වැඩි කාලයක් ගත කරන්නේ පාසල් පරිසරය තුළ බැවින් එම පරිශ්‍ර පිරිසුදුව හා මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යමින් මදුරුවන් දෂ්ට කළ හැකි අවස්ථා අවම කිරීමට මේ පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මදුරුවන්ගේ බලපෑම අවම කළ හැකි පැඟිරි තෙල් හෝ මදුරු විකර්ශක සංයෝග අඩංගු ද්‍රව්‍ය ඇඟේ ආලේප කිරීමට සිසුන් යොමු කළ යුතු බවත් විශේෂයෙන් පන්ති කාමර තුළ එවැනි ද්‍රව්‍ය යොදන ලද පහන් දැල්වීම් හෝ පැඟිරි තෙල් ස්වල්පයක් ඇඟේ ආලේප කිරීම පිළිබඳ මවුපියන් දැනුවත් කර එම පහසුකම් සපයා ගත යුතු බවත් චක්‍රලේඛයෙහි දැක්වේ.

ඩෙංගු උවදුර හා රෝග ලක්ෂණ වළක්වා ගැනීම පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහයෝගය ඇතිව මවුපියන් හා සිසුන් දැනුවත් කරන්නැයිද අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්