මෛත්‍රිට-රනිල්ට 3වැනි වරටත් සිතාසි

  👤  3062 readers have read this article !
By mawbima 2017-07-18

කේ. එස්. උදයකුමාර්

පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූට ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු වෙත දෙසැම්බර් මස 4දා පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය යළි සිතාසි නිකුත් කළේය.

අදාළ නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දෙවැනි සාක්ෂිකරු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් නම්කර තිබූ අතර ඔවුන්ට සාක්ෂි දීම සඳහා ඊයේ දින (17දා) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මීට පෙර සිතාසි නිකුත් කර තිබිණි.
එම නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයන්ට නොවැළැක්විය හැකි රාජකාරි කටයුත්තක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රකාශ කළේය. මේ නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසද ජනාධිපති නීතිඥ නානායක්කාර මහතා ඉල්ලා සිටියේය.

රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය
"ස්වාමීනි, වෙනත් දිනයක් ලබාදීම පිළිබඳව ගැටලුවක් නැහැ. ඊළඟ දිනයේ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණය හමුවට කැඳවීම භාර ගන්නේ නැතිනම් ඔවුන් වෙත නැවතත් සිතාසි නිකුත් කරන මෙන් ඉල්ලා සිටිනවා."
ජනාධිපති නීතිඥ නානායක්කාර,

"ස්වාමීනි සාක්ෂිකරුවන් කැඳවීම පිළිබඳව අපට භාරගන්න බැහැ. එහෙත් මෙම දැනුම් දීම ඔවුන් වෙත සිදුකරන බව පමණක් භාරගන්න සූදානම්."
කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන සාක්ෂිකරුවන්ට යළි ලබන දෙසැම්බර් 4දා පෙනී සිටින්නැයි දන්වා තුන්වැනි වතාවටත් සිතාසි නිකුත් කළේය.

මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ගොනුකර ඇති හෙයින් නඩු විභාගය ආරම්භ කිරීමෙන් පසුව එය දිනපතා විභාගයට නියම කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව නඩුව දෙසැම්බර් මස 4දා සිට 12දා දක්වා දිනපතා විභාගයට ගැනීමටද අධිකරණය නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්