ස්විස් කුමාර් පන්නන්න DIGට උදවු කළ SI ගැන සොයයි

  👤  3117 readers have read this article !
By mawbima 2017-07-18

කුමුදු උපුල් ශාන්ත,
චාමර අමරසූරිය

යාපනය පුන්කුඩිතිව් ප්‍රදේශයේදී සිදුවූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන මහාලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තාට යාපනයෙන් පලා යෑමට සහාය දුන් බව පැවැසෙන උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් අරඹා ඇත.
මීට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ නියෝගය ක්‍රියාත්මක කරමින් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු භාරයට ගෙන යාපනය මූලස්ථාන පොලිසියට රැගෙනවිත් මුදාහැර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අදාළව මෙම විමර්ශනය අරඹා තිබේ.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධියෙන් අනතුරුව විදේශ රටකට පලා යෑමේ උත්සාහයක් තිබූ බවටද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 වසරේ මැයි මස 13දා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් වන ලැහැබක් තුළදී සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කරනු ලැබීය.
මීට අදාළ සැකකරුවන් 7 දෙනකු කයිට්ස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් අතර ඊට දින කිහිපයකට පසුව ස්විස් කුමාර් නමැති ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගස් බැඳ තිබිණි.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමස්ත ශ්‍රී ලංකා පොලිසියේම ජේ‍යෂ්ඨත්වයෙන් සිවු වැනි නිලධාරියා වන අතර ඔහු ලබන 2021 වසරේදී විශ්‍රාම යෑමට නියමිතව තිබිණි.

මධ්‍යම පළාත භාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටින ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම සම්බන්ධයෙන් ලබන 20දා රැස්වන ජාතික පොලිස් කොමිෂන් සභාවේදී තීරණය කිරීමට නියමිත බවද එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා "මව්බිම"ට සඳහන් කළේය.

මේ අතර කයිට්ස් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අනුරාධපුර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

එම බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් ලබාදුන් නිර්දේශයක් මත ඔහුව එසේ රෝහල්ගත කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

යාපනය පුන්කුඩිතිව් ප්‍රදේශයේදී සිදුවූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවකුට යාපනයෙන් පලා යෑමට සහාය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්