කුණු බැහැර කරන්න විරුද්ධ වන රටක් ලොව කොහේවත් නෑ

  👤  3069 readers have read this article !
By mawbima 2017-07-18

සපුමල් ජයසේන

කසළ බැහැර කිරීමට විරෝධය දක්වන ලොව කිසිම රටක දක්නට නැති සංස්කෘතියක් ලංකාවේ ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා එසේ පැවැසුවේ කසළ කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබඳව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා "තිරසර යුගයක් පිරිසුදු පුරයක්" මැයෙන් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (17දා) පවත්වන ලද වැඩසටහන අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
අද කසළ බැහැර කිරීම ගැටලුවක් වෙලා තිබෙන්නේ ජනතා විරෝධතාවන් එල්ල වීම නිසයි. කොතැනකට කසළ දැම්මත් එතැන විරෝධයක් කරනවා. මේවා පිටුපස ඉන්නේ දේශපාලනඥයන්.

මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කසළ බැහැර කිරීම්වලට එරෙහිව විරෝධතාව දක්වමින් පාරවල බුදිය ගත්තා. මට මේ ගැන කියන්න වචන නැහැ.
කැළි කසළ ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේලා සහ පල්ලියේ පියතුමන්ලාත් මැදිහත් වෙලා. කසළ බැහැර කිරීමේ ගැටලු ගැන කතා කරන්න මේ ආගමික නායකවරු හිමිවරු මාව හමුවෙන්න ආවා. මම උන්වහන්සේලාට කියනවා එහෙනම් කුණු දාන්න සුදුසු තැනකුත් පෙන්වන්න කියලා.
පස් කැපුවත් මේ කට්ටිය විරෝධතා දක්වනවා. පස් කපනවට විරුද්ධ වෙන උද්ඝෝෂණය කරන අයට මම කියනවා සංවර්ධන වැඩවලට පස් ගන්න හැකි තැන් තිබෙනවා නම් හොයලා කියන්න කියලා.

කසළ එක්රැස් කිරීම හා බැහැර කිරීම නිසි ලෙස සිදු නොවන්නේ ඒ සඳහා වූ මානව සම්පත් හිඟය නිසා කියලා කිව්වා. ඒකට පිළියමක් ලෙස තාවකාලික පදනම යටතේ කසළ රැස් කිරීමට කම්කරුවන් බඳවා ගැනීමට අවසර දුන්නා. එලෙස බඳවා ගත් කම්කරුවන් කුණු අදින්නේ නැතිව දැන් වෙනත් රාජකාරිවලට අනුයුක්ත කරලා.
ලංකාවේ පළාත් පාලන ආයතනවලින් 99%ක්ම කළේ කුණු කඳු ගොඩගහපු එකයි. කසළ කළමනාකරණය නිසි ලෙස සිදු කෙළේ බළන්ගොඩ නගර සභාව ඇතුළු පළාත් පාලන තුනක් හෝ හතරක් පමණයි.

මේ පළාත් පාලන ආයතන ගොඩගහපු කුණු කඳුවලට අන්තිමට මිනිස්සු යටවෙලා මැරුණා. කසළ කඳු පිටුපස තිබුණු පාතාලයත් ඒ ආශ්‍රිතව තිබුණු ජාවාරමත් හෙළි වුණේ ඉන් අනතුරුවයි.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් විසින් සකස් කරන ලද ප්‍රමිතිගත කසළ කළමනාකරණයක් සඳහා වූ යෝජනාවලියක් සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මෙහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්