පාකිස්තානයේදී මෛත්‍රිට මහත් හරසර

  👤  3204 readers have read this article !
By mawbima 2018-03-23

ජේ.ටී. ද සිල්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී අද (23දා) පැවැත්වෙන ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස විශේෂ ගුවන් යානයකින් කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට
ඊයේ රාත්‍රි ළඟා වූහ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු පාකිස්තානයේ ජනරජ දින උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඇරයුම් ලැබ සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් විසින් පිළිගනු ලැබූ අවස්ථාවේ පාකිස්තානු ගුවන් හමුදාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩිමුර විසි එකක් පිරිනමනු ලැබීය.

අනතුරුව පාකිස්තානයේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් විශේෂ ගුවන් යානයකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස ඉස්ලාමාබාද් නුවර නුර්ඛාන් ගුවන් පථය වෙත පැමිණියහ.

එහි සිට එම පිරිස විශේෂ රිය පෙරහරකින් ඉස්ලාමාබාද් නුවර ෂේරිනා හෝටලය වෙත කැඳවාගෙන එනු ලැබූහ. එහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනකු විසින් හෙළ සිරිතට අනුව බුලත්හුරුලු දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගනු ලැබීය.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සමාජයීය හා සංස්කෘතික වශයෙන් දිගු කාලීනව පවතින මිත්‍රත්වය හා බැඳීම තවත් ශක්තිමත් කරමින් පාකිස්තාන ජනාධිපතිවරයා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඇරයුම් කර ඇත.
'ශ්‍රී ලංකා - පාකිස්තාන මිත්‍රත්වය දිගු කල් දිනේවා', 'ශ්‍රී ලංකා ජනපති සාදරයෙන් පිළිගනිමු' යනුවෙන් සඳහන් පුවරු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ විශාල ඡායාරූප සහිත පුවරු නගරයට පිවිසෙන මාර්ගවල සවිකර තිබෙනු දක්නට ඇත.

පාකිස්තාන ජනරජ උත්සවය වෙනුවෙන් පාකිස්තාන ජාතික ධජ සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ධජද නගරය පුරා ඔසවා තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තානයේ රැඳී සිටින කාලය තුළ ඉස්ලාමාබාද් නගරය පුරා අන්තර් ජාතික මට්ටමේ දැඩි ආරක්ෂාවක් සලසා ඇතැයි පාකිස්තානු ආරක්ෂක අංශ සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon