2-0 කින් පාකිස්තානු ක්‍රීඩිකාවෝ ජය ගනිති

  👤  3154 readers have read this article !
By mawbima 2018-03-23

ශ්‍රී ලංකා-පාකිස්තාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22දා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 94ක විශිෂ්ට ජයක් හිමිකරගත් පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට සමත් වූහ.
රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම ලබා ගත් ලකුණු 250ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූ ශ්‍රී පාලි වීරක්කොඩි ලකුණු 29ක් ලබා ගත්තාය. චමරි පොල්ගම්පළ සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 24 බැගින් ද, අමා කාන්චනා ලකුණු 23ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු විස්සේ සීමාව පසුකිරීමට පාකිස්තානු පන්දු යවන්නියන් ඉඩ ලබා නොදීම කැපී පෙනිණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සානා මීර් පන්දුවාර 10කදී ලකුණු 32කට කඩුලු 4ක් බිඳහෙළීමට සමත් වූවාය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 250ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේ පළමු තරගයේදීද පාකිස්තානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ මෙම ලකුණු සංඛ්‍යාවම වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි හෙවත් අවසන් තරගය හෙට (24දා) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඡායාරූප-නුවන් අමරවංශ

ලකුණු සාරාංශය
පාකිස්තානු කාන්තා කණ්ඩායම _
පන්දුවාර 50කදී කඩුලු 6කට 250 (බිෂ්මා මහරුෆ් 89, නිදා ධාර් 38, ශ්‍රී පාලි වීරක්කොඩි 46/2, ඉනෝකා රණවීර 34/1)

ශ්‍රී ලංකා කාන්තා
කණ්ඩායම _
පන්දුවාර 37කදී සියල්ලන් දැවී 156 (ශ්‍රී පාලි වීරක්කොඩි 29, චමරි අතපත්තු 24, සානා මීර් 32/4, නිදා ධාර් 27/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon