රනිල්ගේ ඉරණම අප්‍රේල් 4වැනිදා රාත්‍රියේ තීන්දු වෙයි

  👤  3238 readers have read this article !
By mawbima 2018-03-23

මේ දිනවල පාර්ලිමේන්තු සංකීර්ණය තුළ යම් දේශපාලනඥයකු ලිපිගොනුවක් රැගෙන යනවා නම් බොහෝ දෙනකු ඒ දෙස උනන්දුවෙන් බලන්නේ මෙය විශ්වාසභංග යෝජනාවට සම්බන්ධ අස්සන් ලේඛනයක්ද කියාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 55 දෙනකුගේ අස්සන් සහිතව විශ්වාසභංග යෝජනාව 21 වැනිදා කතානායක කරු ජයසූරිය මහතාට භාරදෙන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. මෙහිදී අස්සන් ලබාගැනීමේ මෙහෙයුම භාරදී තිබුනේ මහින්දානන්ද අලුත්ගමගේ, ශෙහාන් සේමසිංහ යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙතය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතාද එම කටයුතු සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබාදී තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන විශ්වාසය භංග වී තිබෙන බවට අස්සන් ලබාගෙන කතානායක කරු ජයසූරිය මහතාට එම විශ්වාසභංග යෝජනාව භාරදීමෙන් අනතුරුව ඊයේ (22දා) දින තවත් ලේඛනයකට අස්සන් ලබා ගැනීමක් සිදුවිය.

මෙම අස්සන් ලේඛනය ලබාගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරමිනි. මීට අස්සන් ලබාගැනීම සිදුකෙරුණේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 1දී මෙම රැස්වීම පැවැත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අස්සන් ලේඛනය ලබාගැනීම සැලසුම් කර තිබුණේ වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසිනි. රැස්වීමට පැමිණ සිටි ජනතා නියෝජිතයන් වෙත ලිපි ගොනුව යැවූ අතර එක එක්කෙනා ඊට අස්සන් කරන ආකාරයක් දක්නට ලැබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අමතමින් පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව කඩිනමින් ලබා ගැනීමට ක්‍රියා කළ බවයි.

මේ විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 වැනිදා විවාදයට ගන්න මමයි යෝජනා කළේ. ඒ යෝජනාව ඉක්මනට විවාදයට ගන්න එකට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ වගේ. කොහොම නමුත් මේ විශ්වාසභංග යෝජනාව පරාජය කරලා අපේ ශක්තිය පෙන්වන්න පුළුවන්. ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයාද විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මෙය පරාජය කිරීමට කටයුතු කිරීම සියලුම දෙනාගේ වගකීම බවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයාද මෙහිදී අදහස් දක්වන්නට වූහ.
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අනිවාර්යයෙන්ම හිමිවෙනවා. යනුවෙන් මෙම අමාත්‍යවරු ප්‍රකාශ කරන්නට වූහ.

එක්සත් ජාතික පෙරමුණ විදියට අපේ ශක්තිය පෙන්වන්න මෙම විශ්වාසභංග යෝජනාව හොඳ අවස්ථාවක් යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කරමින් අස්සන් කරන ලද ලේඛනය ආණ්ඩුවද නියෝජනය කරමින් ජනතා නියෝජිතයන් 80ක් පමණ අස්සන් කර තිබෙන බව ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් විශේෂ රැස්වීමකට සහභාගි විය. එය පැවැත්වුණේ අංක 1ට යාබද අංක 03 කමිටු ශාලාවේදීය.

එම කමිටු ශාලාව වෙත ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් කිහිපදෙනකු වෙන වෙනම ගෙන්වා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වේ.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෙසේ පැවැත්වෙද්දී ඊට යාබද කමිටු ශාලා අංක 4හි තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහි පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවකි.

එම සාකච්ඡාව පැවැත්වුණේ පළාත් සභාවල සීමා නිර්ණ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටය. වැඩමුළුවක් වශයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මතුවූයේ ජාතීන් බෙදන ආකාරයෙන් සීමා නිර්ණය සිදුවී තිබීම පිළිබඳවයි. එම නිසා ජාතීන් බෙදෙන ආකාරයෙන් සීමා නිර්ණය සිදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කර එම තත්ත්වය නිවැරැදි කර ගැනීමට මෙහිදී තීරණය කෙරිණි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පාර්ලිමේන්තුව රැස්වූයේ පෙ.ව. 10.30ටය.
ටික වේලාවක් ගිය විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයට පැමිණි අතර තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මැති සබයට පැමිණි පළමු අවස්ථාව මෙය විය. එම නිසා මැති සබයේ සිටි අයගේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දෙසටය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සමඟ ටික වේලාවක් කතාබස් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කඩදාසි කොළයක් ගෙන යමක් ලීවේය. ඉන්පසුව වේත්‍රධාරී කාර්ය මණ්ඩලයේ සේවක මහතකු අතේ එම කඩදාසිය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙත යවන ලදී.
සම්පන්දන් මහතා එම පණිවුඩය කියවා අතින් යම් සංඥාවක් ලබා දුන්නේය. ඊට හස්ත මුද්‍රාවෙන් අග්‍රාමාත්‍යවරයාද ප්‍රතිචාර දැක්වීය.
ඉන් අනතුරුව ආර්. සම්පන්දන් විපක්ෂ නායකවරයා මැති සබයෙන් පිටව ගිය අතර ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ආලින්දය අසල ‍ෙදාරටුව ළඟට වී මැතිසබය සිට බලාගෙන සිටියේ සෙමෙන් සෙමෙන් පිටතට යමින් සිටි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා දෙසය.

එසේ පැමිණි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාත් විනාඩි 20ක පමණ වේලාවක් කතාබස් කළ අතර ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ දහවල් 11.30ට පැවැත්වුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලබන දිනය සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.

සාකච්ඡාවට මුල පිරූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අප්‍රේල් 4දා විශ්වාසභංග යෝජනාව ගැන විවාදය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවයි.
මෙම විශ්වාසභංග යෝජනාව ගැන විවාදය කඩිනමින් විවාදයට ගන්න. ඊට පසුව අප්‍රේල් 3 වැනි සතියේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප ගෙන එනවා. යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක විය යුතුයි යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
අප්‍රේල් 4දා උදෑසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කර රාත්‍රි 9.30ට ඡන්ද විමසීම සිදු කිරීමට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකට එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරයකු ආලින්දයේදී මුණ ගැසුණේය.
ඇමැතිතුමා අගමැතිතුමාට විශ්වාසය පළ කරලා අස්සන් කළාද? එසේ විමසුවේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාය.
අපිට කිව්වා අපි අස්සන් කළා. එම රාජ්‍ය අමාත්‍යවරයා සිනහසෙමින් කීවේය.
විශ්වාසයක් නැති නිසානේ ඔය විදියට අස්සන් ගන්නේ යනුවෙන් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා කළ කතාවට සියල්ලෝම සිනහසුණහ.
මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයට ගෙනගිය දූත පිරිස සම්බන්ධයෙන් බරපතළ වෝදනාවක් එල්ල කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී රාජ්‍ය දූත පිරිසට වංචාවලට වරදකරුවකු වූ පුද්ගලයකු ගොස් තිබෙනවා. බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් 200ක් පමණ වරදකරුවන් වෙලා තියෙනවා. මෙහි වරදකරුවන් වී සිටින පියසිරි විජේනායක ජනාධිපතිතුමා සමඟ ජපානයේ නිල සංචාරයකට සහභාගි වෙලා ජපාන අගමැති සමඟ පවත්වපු සාකච්ඡාවලටත් සහභාගි වුණා. දූෂිත පුද්ගලයන් මෙහෙම රාජ්‍ය තාන්ත්‍රික ගමන් යනවා නම් මොවුන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට එය බලපෑමක් වෙන්නේ නැද්ද යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා චෝදනාත්මක ස්වරූපයෙන් විමසා සිටියේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ පුස්තකාලය අසලදී මුණගැසුණේ නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාය.

අලුත් පොලිසිය භාර ඇමැතිතුමා කොහොමද යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මඳ සිනහවක් පාමින්ය.
ආ...මල්ලි ඉඳපන් මං උඹ ඇතුළට දානවා යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ මහ හයියෙන් සිනහ සෙමින්ය.
අනේ ඇමැතිතුමා අපි අහිංසකයි යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා දැක්වූ ප්‍රතිචාරයට දෙදෙනාම සිනහසුණහ.
මේ අතර ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගයක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඔෟෂධ මිල අඩු කිරීම, හදවත් රෝගවලට යොදන ස්ටෙන්ට් සහ අක්ෂි කාචවල මිල අඩු කිරීමෙන් ජනතාවට විශාල සහනයක් ලැබුණු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදී. ජාතික රෝහලේ රුධිරය පරීක්ෂා කිරීමේ ඒකකය සහ එය නොමිලේ ඉටු කිරීම තුළින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැනද අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඉස්සර ජාතික රෝහලේ ඇස් වාට්ටුව හන්දිය වටේම තිබුණා ලේ එකතු කරන ස්ථාන.

මොන ලැජ්ජාවක්ද. ලේ බොන්න ලේ එකතු කරනවයි කියලා මං අහලා තිබුණේ ඩ්‍රැකියුලා විතරයි. තමුත් ඒ දවස්වල ඇස් වාට්ටුව හන්දියේත් ඩ්‍රැකියුලා හිටියා යනුවෙන් ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon