කාන්තා යතුරුපැදිවල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකතන කොල්ල කෑ කල්ලියක් වවුනියාවේදී මාට්ටු

  👤  3125 readers have read this article !
By mawbima 2018-03-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
මඩුකන්ද - දීපාල් බණ්ඩාර
මුලතිව් - ශෂි කුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදිවල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකතන සොරාගත් කොල්ල කල්ලියක ප්‍රධාන සාමාජිකයන් දෙදෙනකු සොරකම් කළ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
කාන්තා යතුරුපැදිවල අසුන යට තිබෙන කැබිනය කඩා මුදල් හා ජංගම දුරකතන ඇතුළු වටිනා භාණ්ඩ සොරාගැනීමේ සිද්ධි පිළිබඳ වවුනියාව අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් කටාර්හි සේවය කොට ඇති අතර එහිදී යතුරුපැදි සම්බන්ධයෙන් ලැබූ පුහුණුව මත තවත් කිහිප දෙනකු සම්බන්ධ කරගනිමින් කොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකතන 14ක්, මුදලින් රුපියල් 30,000ක්, කාන්තාවන්ගේ මුදල් පසුම්බි හා රියැදුරු බලපත්‍ර ඇතුළු කොල්ලකෑම සඳහා භාවිත කළ විශේෂිත වූ යතුරක්ද සොයාගෙන ඇත.

වවුනියාව නගරයට පැමිණි විවිධ ස්ථානයන්හි නවතා තිබෙන යතුරුපැදිවල අසුන් යට කැබිනය සැකකරුවන් විසින් විශේෂිත වූ යතුරක් භාවිත කොට විවෘත කර සොරාගන්නා ලද ජංගම දුරකතන විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බවද තොරතුරු අනාවරණය වී ඇත.
කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.
සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon