ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙගලිතික සොහොන් සංකීර්ණය යාං ඔය ජලාශ ව්‍යාපෘතියට යටවීමේ අවදානමක්

  👤  3239 readers have read this article !
By mawbima 2018-03-23

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මෙගලිතික යුගයේ ආදි මානවයන්ගේ සොහොන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගෙන ඇති මෙරටින් හම ුවූ විශාලතම මෙගලිතික සොහොන් සංකීර්ණය යාං ඔය ජලාශ ව්‍යාපෘතියට යටවන බව පඹුරුගස්වැව විදුහලේ ඉතිහාසය පිළිබඳව ආචාර්ය ගුණතිලක කරුණාසේන මහතා පැවැසීය.
ගෝමරන්කඩවල පඹරුගස්වැව හා පැටියාව යන ප්‍රදේශයන්හි පිහිටි මෙම සොහොන් සංකීර්ණයේ මේ වනවිට හඳුනාගත් සොහොන් 81 පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ආදි මානවයන්ගේ යුගය ලෙස සැලකෙන ක්‍රිස්තු පූර්ව 3000ට එපිට යුගයේ මේ ප්‍රදේශයේ ආදි මානවයන්ගේ ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක සොයා ගනු ලැබූ මේ මෙගලිතික සොහොන්වලින් පෙනී යන බව කරුණාසේන මහතා පවසයි.

ඒ මහතා කියන්නේ මේ සොහොන් අතර සාමාන්‍ය ජනයා මෙන්ම ප්‍රභූවරුන්ද මිහිදන් කර තිබූ බව පෙනී යන බවයි. ප්‍රභූවරුන් මිහිදන් කිරීම සඳහා ගල් කුට්ටි යොදාගෙන තිබෙනවා. ඉබ්බන්කටුව ප්‍රදේශයේ හමුවූ මෙගලිතික සොහොන් මතු කරගන්න වුණේ කැණීම් කරලා. එහෙත් මේ සොහොන් සංකීර්ණය පොළොව ඛාදනය වීම නිසා පොළොවෙන් මතුව පිහිටලා තිබෙනවා. මේ සොහොන්වල අස්ථි කොටස් මෙන්ම ආදි මානවයන් පැලඳි පබලු වැනි දේ තිබෙනවා. එහෙත් කනගාටුදායක කරුණ නම් මේ විශාලතම සුසාන සංකීර්ණය තවත් නොබෝ දිනකින් ජාතියට අහිමිව යනවා. ඒ යාං ඔය ජලාශය ජලයෙන් පිරවීමත් එක්කම යැයි පැවැසීය.

පුරාවිද්‍යා ‍ෙදාපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ. සුමනදාස මහතා කියන්නේය. මේ ස්ථානයෙන් හමුවූ සොහොන් කොත් සියල්ලම අපි අංක කළා. සමහර එවා කැණීම් කළා. ඒ හමුවූ කොටස් යාං ඔය ව්‍යාපෘතිය මඟින් දෙපාර්තමේන්තුවට ඉදිකර දෙන කෞතුකාගාරයේ තැන්පත් කරනු ලබනවා. අනෙක් සොහොන් කොත් පිළිබඳව වාර්තා ගත කරලා තබා ගන්නවා. එතැනින් එහාට ගිය දෙයක් දෙපාර්තමේන්තුව විධියට අපිට කරන්න බැහැ. මොකද යාං ඔය ව්‍යාපෘතියේ ජලයෙන් යටවන ප්‍රදේශයක මේවා පිහිටලා තියෙන නිසා යැයි පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon