පිරවුම්හල්වල භූමිතෙල් කලවම් කර අසු වුණොත් බලපත්‍රය අහෝසි කරනවා

  👤  2903 readers have read this article !
By mawbima 2018-03-23

නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීමේ හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුතුවල නිරත වන පිරවුම් හල්වල බලපත්‍රය අහෝසි කොට රජයට පවරා ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කෙළේ ඊයේ (22දා) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් අර්ජුන රණතුංග මහතා මෙසේද පැවැසීය.

භූමිතෙල් අවභාවිතය ගැන කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. ඒ ක්‍රමය නවත්වන්න ක්‍රමවේදයක් හදන්න ජනාධිපතිතුමත් යෝජනා කළා.
රටේ දුප්පත් ජනතාවට තමයි භූමිතෙල් දෙන්නෙ. ධීවර බෝට්ටු සඳහා දැන් ඩීසල් භාවිත කරනවා. භූමිතෙල් විකුණන්නෙ රජය ලෙස පාඩු අරගෙනයි.
භූමිතෙල් භාවිතය අඩු විය යුතු වුවත් වැඩි වන බව හෙළිවුණා.

බවුසර්වලදී කවලම් කරන බවත් අපේ පරීක්ෂණ කණ්ඩායම් අනාවරණය කළා. භූමිතෙල් කවලම් කරල පිරවුම්හලක් අහුවුණොත් එහි බලපත්‍රය අහෝසි කරනවා.
ලොරි හා බස්වලට භූමිතෙල් ගැසීම නිසා විශාල පරිසර හානියකුත් සිදු වෙනවා. භූමිතෙල් සහනාධාරය ජනතාවට නොයා කූට ව්‍යාපාරිකයන්ට යෑම වැළැක්වීම අපේ අරමුණක්.

පසුගිය 2014දී කිලෝලීටර් එක්ලක්ෂ තිස් අට දහස් පන්සියයක් භූමිතෙල් අලෙවි කළා. 2017 වන විට කිලෝලීටර් එක් ලක්ෂ අනූ අට දහස් අනූවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2018 වසරේ පෙබරවාරි 28 දක්වා කිලෝලීටර් හතළිස් හතර දහස් එකසිය තිස් හතක් (44,137) අලෙවි වී තිබෙනවා. ඩීසල් වාහන වැඩි වන පසුබිමක් තුළ භූමිතෙල් අලෙවිය වැඩිවීම තමයි පරීක්ෂණයක් කිරීමට හේතු වුණේ.

බස් රථ ඩීසල්වලට ලියාපදිංචි කළාම වෙන ඉන්ධනයක් යොදන්න බැහැ. නීතිය ඒකයි. ලොරිවලටත් ඒ වගේමයි. බස් සහ ලොරිවලට භූමිතෙල් යොදන්න බැහැ කියලා ඉදිරියේදී ඉන්ධන හල් දැනුවත් කරනවා. පරිසර දූෂණය, වාහනවලට සිදුවන හානිය, රජයට සිදුවන පාඩුව ආදී සියල්ල නතර කිරීම අපේ අරමුණයි.
භූමිතෙල් භාවිතය නිසා ඇති වී තිබෙන මේ තත්ත්වය හේතුවෙන් තෙල් සංස්ථාවට 2017දී රුපියල් මිලියන 546ක් සහ 2018 පෙබරවාරි 28 දක්වා රුපියල් මිලියන 2,146ක පාඩුවක් සිදු වී තිබෙනවා.

මේ තත්ත්වය වැළැක්වීමට කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතිනවා. ඒ නිසා නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීමේ යෙදී සිටින හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුතුවල යෙදෙන නියෝජිතයන්ගේ හිමිකාරිත්වය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.
භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 48ක සහ 63ක පාඩුවක් රජය ලබනවා. අනෙක් ඉන්ධනවලිනුත් රජය අලාභ ලබන නමුත් භූමිතෙල් තරම් පාඩු නැහැ. ගුවන් යානා ඉන්ධනවලින් විතරයි ලාභ ලබන්නෙ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
ඉන්ධන මිල වැඩි කිරීමකට රජය අපේක්ෂා කරනවාද?
වෑන් හා ලොරි ලියාපදිංචි කරල තියෙන්නෙ ඩීසල්වලට. එම ලියාපදිංචිය වෙනස් වෙනවා නම් මිල වැඩි කරන්න ක්‍රියාවලියක් හදන්න වෙනවා. ඊට අමතරව ඉන්ධන මිල සංශෝධනයක් ගැන මිල සූත්‍රයක් හැදීමට සාකච්ඡා කරගෙන යනවා. මේක ගෙන ඒමේ දිනවකවානුවක් ගැන අදහසක් නැහැ. මිල වැඩි කිරීම ගැන මුදල් අමාත්‍යාංශයත් අයි.ඕ.සී. සමාගමත් සාකච්ඡා කර තිබෙනවා.

පිරවුම්හලක බලපත්‍රය අහෝසි කළොත් ඒක රජයට පවරා ගන්නවාද?
ඒක ගැන තවම තීරණයක් නැහැ. එම පිරවුම්හල වසා තැබීමටත් බැහැ. තමන්ගෙ ආයතනවල එවැනි වැරැදි වෙනවා නම් අයිතිකරුවොත් ඒ ගැන හොයල බලන්න ඕන.
අපට අවශ්‍ය කාටවත් දඬුවම් දෙන්න නෙවෙයි. වැරැද්ද නැති කර ගැනීමයි.

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දෙනවාද?

අපි ආණ්ඩුවක් හැටියට ඉන්නවා. මේක කරන්න එපා කියලා නැහැ කවුරුවත්. පසුගිය කාලයක මෙහෙම වුණා නම් ඇමැතිවරුන් නැති වෙන්න පුළුවන්. ඡන්ද පදනමක් නැති ඒ වගේම වැඩක් නැති අය ආණ්ඩු පෙරළන්න හදනවා. මේක මේ අගමැතිතුමා විතරක් එළවන්න කරන වැඩක් නෙවෙයි. අන්තිමට ජනාධිපතිතුමාත් එළවන්න ගහන සැලැසුමක්.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූපය - සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon