දේශපාලනයේදී ජාතිවාදය පරාජය කිරීමට සියලු ජාතීන් එකමුතු කරන දේශපාලන ව්‍යාපාරයක් අරඹමු

  👤  3270 readers have read this article !
By mawbima 2018-03-23

සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනතාවට සාමයෙන් ජීවත්වීමේ කැමැත්ත තිබුණද අධිකාරි දේශපාලන බලයෙන් ජාතිවාදය ඉහළටම ඔසවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

කෙසේ නමුත් ජාතිවාදයට එරෙහි සටන ප්‍රමාණයෙන් විශාල නමුත් හ¾ඩින් දුබල බවත් ඊට එරෙහි පොදු අරගලයකට සියලු දෙනා ඒකරාශී විය යුතු බවත් මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

"අපේ රටේ අලි ගහලා, වාහනවලට යටවෙලා මිනිස්සු මැරෙනවා. ඒවා ආගමික, සංස්කෘතික වතාවත්වලින් පස්සෙ ඉවර කරනවා. ටික කාලයක් යද්දී අමතක වෙනවා. හැබැයි එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් පීඩාවට, බිය වැද්දීමට පත්කළොත් ආගමික, සංස්කෘතික වතාවත්වලින් කෙළවර කරන්න බෑ. ඒ පීඩාව, බියවැද්දීම කොපමණ කාලයක් දරාගනියිද කියලා අපට කියන්නත් බෑ. මෙහෙම ගියොත් සහතිකයි අපේ පරම්පරාවේ දරුවොත් මේ විදිහට යුද්ධ කරගනීවිද?" ඔහු පැවැසීය.
"මේ ජාතිවාදය අද උන්මාදයක් වෙලා, විකෘතියක් වෙලා. මේ විකෘතිය අපි පෙබරවාරි 10දා ඡන්ද ප්‍රතිඵලයෙන් දැක්කා. ඒ ප්‍රතිඵලයෙන් පේනවා මොනතරම් යටි බෙදීම් තීව්‍ර වෙලා තියෙනවද කියලා. අපි කොරහෙ කිඹුල්ලු දකිනවා නෙවේ. ඒත් ඔබ අප පිළිගත යුතුයි මේ ජාතිවාදය මොන තරම් උත්සන්න වෙලාද කියලා. මීට එරෙහිව අපි හැප්පිලා බලමු.
ඒ වගේම මේ අශිෂ්ට ජාතිවාදී ක¼දවුරට එරෙහි වන එක අසීරුයි. නමුත් අප ශක්තියෙන් එක් විය යුතුයි. අපේ විසංවාදය එනකම් ජාතිවාදී කල්ලිය ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා බෝල් කරනවා, බැට් කරනවා, අපි තවම ඇඳුම් හොයනවා. තවදුරටත් රටේ ජාතික සමඟිය විනාශ කළ යුතුද..?"
දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (21දා) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති 'වෙනසක ඇරඹුම' මඟින් සංවිධානය කළ ජාතික සමඟි කතිකාවතට සහභාගි වෙමිනි.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු පක්ෂ සාමාජිකයන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
දිසානායක මහතා මෙසේද කීය.

ජාතිවාදයට එරෙහි මහා කතිකාව අපට තිබෙන්නේ විද්‍යාත්මක සාධක, තර්කනය, දත්ත සහ තොරතුරු මත පමණක් නොවෙයි. ඊට වඩා ප්‍රබල මහජන බලයක් ගොඩනැඟුවහොත් පමණයි ජාතිවාදය පරාජය කළ හැකි වන්නේ. ඒ නිසා අපේ මේ අරගලය තල දෙකක ක්‍රියාත්මක කළ යුතු වෙනවා. හරිනි සොහොයුරිය කියූ එක තලයකට මම එකඟයි. අපේ රටේ දේශපාලනයේ න්‍යායික කරුණු, දිශානතිය, තනි පුද්ගලයාගේ අනන්‍යතාව සහ විවිධත්වය තුළ ඒකත්වය වැනි විශාල සාරගර්භ සාකච්ඡාවක් ක්ෂුද්‍ර දේශපාලනයේ තිබෙනවා. ඒ වගේම මහා දේශපාලනයේදී ගැටුම්, කුමන්ත්‍රණ, ආණ්ඩු පෙරළීම්, විකිණීම්, අලෙවි වීම් පිළිබඳ සාකච්ඡාවක් මහේක්ෂ දේශපාලනයේදී තිබෙනවා. අද අපේ රටේ ජාතිවාදය තවදුරටත් තිබෙන්නේ ක්ෂුද්‍ර දේශපාලනය නෙවෙයි. මහේක්ෂ දේශපාලනයේ.

ඇත්තටම අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක්. එසේ නම් එයට මුහුණ දිය හැකි වන්නේම දේශපාලන ජාතිවාදයට එරෙහිව ජාතික සමඟිය පිළිබඳව ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන්ම පමණයි. වෙන කිසිම උත්තරයක් නැහැ. ජාතිවාදය ප්‍රබල වී තිබෙන්නේ ඔවුන් ප්‍රමාණයෙන් විශාල නිසා නෙවෙයි. ඔවුන් හ¾ඩින් ප්‍රබලයි. සංවිධානාත්මක අතින් ප්‍රබලයි. සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනතාව අතර සාමයෙන් සමඟියෙන් එකට ජීවත්වීමේ කැමැත්ත තිබෙනවා. හැබැයි ඒ කැමැත්ත අධිකාරි දේශපාලන බලයක් හරහා ජාතිවාදය උච්චස්ථානයට ඔසවා තබා තිබෙනවා. ඒ නිසා ජාතිවාදයේ හඬ ප්‍රබලයි. ප්‍රමාණය අඩුයි. හැබැයි ජාතිවාදයට එරෙහි සටන ප්‍රමාණයෙන් විශාලයි. නමුත් හඬ දුබලයි. අප අද මේ ආරම්භ කරන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමඟිය වෙනුවෙන් වූ ප්‍රබලතම සංවිධානය සහ ව්‍යාපාරය දියත් කිරීමයි.

අපේ පරම්පරාව අවුරුදු තිහක් යුද්ධ කර ගත්තා. දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර කුඩා කුඩා ගැටුම් ඇති වුණා. ඒ හැම ගැටුමකදීම පීඩාවට පත්වන පාර්ශ්වය දෙමළ නම් ඔවුන් එය ඉවසා වදාරා ගත්තා. හැබැයි ප්‍රභාකරන් කියලා තරුණයෙක් ඔවුන්ට නායකත්වය දී දැවැන්ත යුද්ධයක් දක්වා පරිවර්තනය කිරීමට තරම් ඒ ජනතාව හමුවේ තිබූ පීඩනය ප්‍රබල වී තිබුණා. ඒ වගේම තමයි අදත් දිගනට ගියොත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලි තුනක් ගිනිබත් කරලා. දේපොළ නිවාස විශාල ප්‍රමාණයකට හානි කරලා. මුස්ලිම් ජනතාවගේ මේ පීඩනය, මේ දරා ගැනීම කොච්චර කාලයක් තබා ගනීදැයි විශ්වාස කරනවාද? එය දශක ගණනක් දරා ගන්නේ නැති බව සහතිකයි. මේ විදිහට ගියොත් අපේ පරම්පරාවට වගේම අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කරගන්න සිදුවේවි. ඒ නිසා මේ වෙලාවේ ජීවත්වෙන අපි කිසිවකුට අපේ දරුවන්ට යුද්ධ කර ගන්නා පරිසරයක් නිර්මාණය කරන්න කිසිම අයිතියක් නැහැ.

ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි
මම මෙතැන කිසිදු පක්ෂයක් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් සමාජයේ ප්‍රගතිය කරා යම් මෙහෙවරක් කරන්න අවශ්‍ය දේ අවශ්‍ය තැනදි කරුණු ඉදිරිපත් කරන හාමුදුරු කෙනෙක්.

පුද්ගලයා හැසිරෙන ආකාරය අනුව ශේ්‍රෂ්ඨත්වය හෝ පහත් තත්ත්වය තේරෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ ජාතිවාදය කියලා එකක් නැහැ. විශේෂයෙන්ම වාසෙට්ඨ සූත්‍රයේදී ජාතිවාදය තියෙන්නේ කාටද කියලා සඳහන් වෙනවා. ගහකොළවලට, සතා සීපාවාට වෙනස්කම් තිබෙනවා. නමුත් මනුෂ්‍යයෝ ඔක්කොම එකයි.
විවෘත විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය
අම්පාරේදී, දිගනදී ඇතිවූ සිද්ධි ජාතිවාදී ගැටුමක් කියලා හිතුවට මම හිතන්නේ ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් බවයි. වාමාංශික, ප්‍රගතිශීලී ව්‍යාපාර හැටියට මේ විවිධත්වය පිළිඅරගෙන සාමානාත්මතාව ඇති කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. මේක ලෙහෙසි වැඩක් නෙවෙයි. විවිධත්වය තුළින් සමානාත්මතාව ඇති කර ගන්න බැරිවෙන හේතු ගැන හිතන්න ඕනෑ. වරප්‍රසාද තියෙන අය අනිත් අයට තියෙන ප්‍රශ්න ගැන නිතර අහනවා. මේක හරි සංකීර්ණයි.

මේ ප්‍රශ්නය ගැන මීට වඩා එහායින් දකින්න නම් වරප්‍රසාද ලත් කණ්ඩායම මුලින්ම ඒ වරප්‍රසාදවල මූලය ගැන සංවේදී වෙන්න වෙනවා. අනිත් අයගේ වැඩ සහ ඒ අය වෙනස් විය යුතු තැන් ගැන හිතනවාට වඩා සමාජයේ යම් කිසි බලයක් තියෙන වරප්‍රසාද තියෙන මිනිස්සු ස්වයං විවේචනාත්මකව කල්පනා කළ යුතු වෙනවා. මිනිසුන් හැටියට එක් වෙන්න නම් තමන්ගේ වරප්‍රසාද තුළින් අනිත් අයගේ වරප්‍රසාද අහිමි වෙන්නේ කොහොමද කියන එක ගැන සංවේදී වෙන්න වෙනවා. ඒක ඉතාමත්ම අමාරු දෙයක්. ඒ ඉතාමත්ම අමාරු සාකච්ඡාව ගන්නේ නැතිව වැඩිදුර යන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා
ආගම් හතරටම පොදු ආධ්‍යාත්මික සංකල්ප හය දියුණු කරගෙන අපේ ආකල්ප ඇතුළාන්තය සුවකර ගැනීමට යොදා ගන්න ඕනෑ. මම ඉපදුණේ මුලතිව්වල. හැබැයි මගේ ජීවිත කාලයෙන් වැඩිපුරම සේවය කළේ සිංහල දරුවන්ට. මගේ ආකල්ප වෙනස්. එක වෙලාවකට සිංහල භාෂාවෙන් කතා කරනවා. තව වෙලාවක මම දන්නෙම නැතුව දෙමළ භාෂාවට මාරුවෙලා. මේක තමයි වෙන්න ඕනෑ. ආධ්‍යාත්මික සුවය තියෙන්නේ එතැන.

උතුරු නැඟෙනහිර හිටපු පළාත් ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු
මිනිසුන් වෙනුවෙන් කාර්යභාරයක් ඉටු කරන්න අපේ හදවත්වලට යම්කිසි පෑරීමක්, වේදනාවක් දැනෙන්න ඕනෑ. ඒ මිනිසුන්ගේ ජීවන රටාව දැක්කහම ඇතිවෙන වේදනාවෙන් ගැලවෙන්න බොහොම අමාරුයි. මිනිස්කම ලැබෙන්නේ අනෙකාගේ ප්‍රශ්න තේරෙනකොට. මගේ රාජකාරි ජීවිතයේදී අතිශයින්ම සතුටු වුණේ උතුරු නැඟෙනහිර පළාත්වල කටයුතු කිරීමෙන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon