අලෙවිකරණයේ හසළ පළපුරුද්දත් සමඟ ස්ලිම්-නීල්සන් ජනතා සම්මානය දිනු ලංකා සතොස අලුත් ගමනක

  👤  3277 readers have read this article !
By mawbima 2018-03-23

මෑතක සිට ලංකා සතොස වෙත ඉතා විශාල පාරිභෝගික ආකර්ෂණයක් යොමුව ඇති බවක් දක්නට තිබෙනවා. මේ වෙනසට හේතුව කුමක්ද?
ලංකා සතොස කියන්නේ වසර 69ක ඉතිහාසයක් ඇති රාජ්‍ය ඒ වගේම ලාංකේය ආයතනයක්. මේ ආයතනය පහුගිය 69 වසර තුළ මුලින්ම සතොස ලෙසත් පසුව සතොස රීටෙල් ලෙසත් 2005 වර්ෂයේ සිට ලංකා සතොස ලෙසත් මේ වෙනස සිද්ධ වුණා. ඉතිහාසය පුරාම ඉෂ්ට සිද්ධ කළේ ලාංකේය ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට අවශ්‍ය මෙහෙවරයි. මේ කාලයේදී පැවැති ආණ්ඩු, පවතින ආණ්ඩු වගේම ඉදිරියට එන ආණ්ඩුත් මිනිසුන්ගේ ජීවන බර අඩු කරන්න, ඒ වගේම රටේ හදිසි විපතකදී මහජනතාවට සහන සලසන්න මාධ්‍යයක් හැටියට භාවිත කළේ ලංකා සතොසයි. මේ ඔස්සේ කොහොමත් සතොස කෙරෙහි ජනතාවගේ බැඳීමක් තිබුණා. ඒ වගේම අඩුම මිලට පාරිභෝගික භාණ්ඩ සැපයීමත් ඔවුන්ගේ ආකර්ෂණයට හේතුවක්.

කොහොම වුණත් එතෙක් නොපැවතුණු අවශ්‍යතාවක් සපුරමින් බලයට පත්වූ වර්තමාන ආණ්ඩුව අද රටේ පවතින සෙසු සිල්ලර අලෙවිසල් ජාලයන් මට්ටමට සතොස රැගෙන එමින් එම ජාලයන් සමඟ තරගකාරී ලෙස රැඳී සිටීම සඳහා වැඩපිළිවෙළකට මුලපිරුවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා, ලංකා සතොස භාර රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට වගකීමක් පවරමින් මේ ආයතනය දේශපාලන වාසි ගැනීමට පමණක් නොවෙයි, ලංකාවේ වෙසෙන මිලියන විසිදෙකකට අධික ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරමින් එය ආරක්ෂා කරගන්නා ලෙස පැවසුවා.

ඒ වෙනුවෙන් ගන්නා ලද මුල්ම ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි කළොත්?

මුලින්ම කළේ නව කළමනාකාරීත්වයක් ස්ථාපිත කරන එක. ඒ අනුව මේ මෙහෙයවීම සඳහා අලුතින්ම කණ්ඩායමක් බිහිකළා. ඒ සියලු දෙනාම විශේෂයෙන් අලෙවිකරණ ක්ෂේත්‍රයේ හසළ පළපුරුද්දක් ඇති අයයි. ඒ සඳහා ගරු ඇමැතිතුමාගෙන් සහ සභාපතිතුමාගෙනුත් පූර්ණ නිදහසක් ලැබුණා. ඒ ඔස්සේ තමයි අපි අපේ මෙහෙයුම ඇරඹුවේ.
ඉතින් අඩු මිලට භාණ්ඩ සපයනු ලබනවා නම් පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න වෙනත් උපක්‍රම අවශ්‍ය වන්නේ නැහැනේ?

අඩු මිලකට භාණ්ඩ සපයනවා කියන්නේ එක් සාධකයක් පමණයි. එයට පමණක් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත හැකි බව මා විශ්වාස කරන්නේ නැහැ. ඒ සඳහා තවත් සාධක කිහිපයක්ම අවශ්‍ය වෙනවා.

සාමාන්‍යයෙන් ලංකා සතොස හඳුන්වනු ලබන්නේ රටේ මිල තීරකයා ලෙසයි. එය සිදුවන්නේ කොහොමද?

අපි අඩුම මිලකට භාණ්ඩ අලෙවි කිරීම තුළින් යම් භාණ්ඩයක මිල ස්ථාවර වෙනවා. මොකද අපි එහෙම අඩු මිලකට භාණ්ඩ ලබාදීමේදී පෞද්ගලික අංශයේ සෙසු ආයතනවලට පමණක් නෙමෙයි, ගමේ පොඩි කඩේට පවා අකැමැත්තෙන් හෝ සතොස මිල ගණන් ආසන්නයටවත් තමන්ගේ මිල ගෙන එන්න සිද්ධ වෙනවා. ඒ අනුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල තීරකයා වන්නේ ලංකා සතොසයි.

මිල ගැන පමණක් කතා කරමින් පාරිභෝගිකයා රඳවා තබාගත හැකිද?

නෑ... එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ගැන පමණක් සැලකිලිමත් වෙන්නෙ නැහැ. භාණ්ඩවල ගුණාත්මකභාවය ගැනත් ඔවුන් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න පහුගිය කාලයේ අපි වැඩ පිළිවෙළවල් කිහිපයක්ම දියත් කළා. ඉන් ප්‍රධානම එකක් තමයි අපේ ශාඛා ජාලයේ ශාඛා 400ටම භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තත්ත්ව පාලකයන් පත් කිරීම.

ඒ වගේම අල, ලොකු ලූනු, සුදු ලූනු වැනි ඉක්මනින් නරක්වීමේ ප්‍රවණතාවක් ඇති භාණ්ඩ ගෝනිවල බහා මෙරටට ආනයනය කිරීමේදී විශාල නාස්තියක් සිද්ධ වෙනවා. මේවා රට පුරා අපේ ශාඛාවලට යද්දී තවදුරටත් ඒවා පලුදු වෙනවා. මේ නාස්තිය වළක්වා ගැනීමේ පියවරක් හැටියට අපි එවැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් බඳුන් හඳුන්වාදීමට පියවර ගත්තා. මේ අනුව අපි දැන් මුලින්ම කරන්නේ භාණ්ඩ මෙරටට ආවහම ඒ අතරින් හොඳ භාණ්ඩ තෝරන එකයි. මේ සඳහා අපට මුලින්ම මිලියන 22ක් විතර වියදම් වුණා. ඒත් ඒ ආයෝජනයෙන් ලංකා සතොසට ලැබෙන ප්‍රතිඵල ඉතා විශාලයි. ඉන් එකක් තමයි ටෙන්ඩරයෙන් අපි හිතමු ලොකු ලූනු මිලදී ගත්තා කියලා. ඒ ලූනු අතරින් හොඳ ටික තෝරලා නරක්වූ ටික නැවත සැපයුම්කරුට භාර දෙනවා. එතකොට අපි මුදල් ගෙවන්නෙ හොඳ ටිකට විතරයි. මේ ඔස්සේ සිදුවන ඉතිරිය ඉතා විශාලයි. ඇත්තෙන්ම පළමු තොගවලින්ම අපි ඒ සඳහා ආයෝජනය කළ මුදල් නැවත හොයලා ඉවරයි. අනෙක තමයි අපි එම භාණ්ඩ ප්ලාස්ටික් ඇසුරුම් බඳුන්වල බහා ප්‍රවාහනය කිරීමේදී කලින් ගෝනිවල බහා ප්‍රවාහනය කිරීමේදී මෙන් ඊට හානි නොවීම. ඊළඟ ප්‍රතිලාභය තමයි මේවා අදාළ අලෙවි සල්වලට ලැබීමෙන් අනතුරව ඔවුන්ට ඉතා පහසුවෙන් ඒවා ඇසිරීමට හැකිවීම. මේ හරහා අවසානයේ පාරිභෝගිකයාට අඩු මිලකට ඉහළ ගුණාත්මක භාවයකින් යුත් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව උදා වෙනවා. මෙහිදී අපි ප්ලාස්ටික් ඇසුරුම් කට්ටල 2 බැගින් භාවිත කරනවා. ඒ කියන්නේ භාණ්ඩ තොගයක් යැව්වම එහි ඇති හිස් ඇසුරුම් නැවත රැගෙන එනවා. මෙය දැනට පෞද්ගලික අංශයේ අලෙවිසල් ජාලවල සිද්ධ වෙනවා.

අලෙවියට නුසුදුසු භාණ්ඩ පාරිභෝගිකයන් අතට යෑම වැළැක්වීම තහවුරු වන්නේ කොහොමද?

අනිවාර්යයෙන්ම අපි ඒ සඳහා දැඩි සැලකිල්ලක් දක්වනවා. අපේ ශාඛා ජාලවල පලුදු වූ, නරක් වූ, කල් ඉකුත් වූ භාණ්ඩ හැකි ඉක්මනින් අපේ මාලිගාවත්තේ පිහිටි නැවත හැරවුම් ගබඩාව වෙත යොමු කරන ලෙස අපි උපදෙස් දී තිබෙනවා.

මෙසේ හරවා එවන භාණ්ඩවලින් සතොසට පාඩුවක් සිද්ධ වෙනවා නේද?
නැහැ. අපි එසේ හරවා එවන භාණ්ඩ සැපයුම්කරුවන් අනුව වර්ගීකරණය කරලා නැවත ඔවුන් වෙත භාර දීලා ඒවායේ වටිනාකම ලබාගන්නවා. මේ අනුව අපතේ යන භාණ්ඩවල වාසිය නැවත ලංකා සාතොස හරහා පාරිභෝගිකයන්ටමයි ලැබෙන්නේ. පසුගිය කාලයේ අවුරුදු 3ක 4ක එවැනි භාණ්ඩ අපි මාලිගාවත්තෙ ගබඩාව වෙත ගෙන්වනු ලැබුවා. මේ ආකාරයෙන් සැපයුම්කරුවන්ට නැවත භාර දුන් භාණ්ඩවලින් අප නැවත ලද වටිනාකම මිලියන 154ක් පමණ වෙනවා. මේ ආකාරයෙන් අපි ලංකා සතොසට සිදුවීමට ගිය විශාල මූල්‍ය පාඩුවක් වළක්වා ගත්තා.

පෞද්ගලික අංශය සමඟ සසඳන විට රාජ්‍ය අංශයේ සේවා තත්ත්වය පිළිබඳව මහජනයා අතර එතරම් පැහැදීමක් නැහැ. මේ තත්ත්වය ජයගන්න ඔබ යෙදූ පිළියම් මොනවාද?

රාජ්‍ය අංශයට සම්බන්ධ හින්දා සතොසටත් ඒ තත්ත්වය බලපානවා. අපි අපේ සේවකයන්ට ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ වගේම ඉදිරියට එය තවත් සාර්ථකව සිදු කිරීම සඳහා රත්මලානේ අපේම පුහුණු අංශයකුත් ආරම්භ කරනවා. විශේෂයෙන් මෙහිදී වෘත්තීයමය පුහුණුවට වඩා ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පුහුණුවක් ලබාදීමටයි මුල්තැන දෙන්නේ.

භාණ්ඩවල සහ සේවකයන්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීමෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද?

නෑ. අපේ ශාඛා ජාලයන් කාලයට ඔබින ලෙස වෙනසකට ලක් විය යුතුයි. ඒ අරමුණින් යුතුව තමයි අපි වැලිසර ලංකා සතොස පරිශ්‍රයේදී 'මෙගා සංකල්පයට' මුල පිරුවේ. පෞද්ගලික අංශයට මේක හුරු පුරුදු වුණාට සතොස වැනි රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතනයකට මේක අලුත් දෙයක්. පෞද්ගලික අංශයේ මෙගා සංකල්පය ක්‍රියාවට නැංවෙද්දී මිලත් මෙගා බවට පත්වෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙගා සංකල්පය දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබා දෙන්න. එහි පෙනුම අනෙක් මෙගා අලෙවි සල්වලට දෙවැනි නැහැ. ඒවායේ ඇති රාක්ක, ශීතකරණ ඇතුළු හැම දෙයක්ම පවා මෙගා අත්දැකීමක් ලබා දෙන ඒවායි. මේ නවීකරණයේදී වුණත් අපි අනිසි ලෙස මුදල් වැය වීමට ඉඩ තබන්නේ නැහැ. ලංකා සතොසට සම්බන්ධ ඉන්ජිනේරු අංශය හරහායි ඒවා සිදුකරන්නේ. මෙවැනි මෙගා අලෙවි සල් ඉදිරියේදී රට පුරා විවෘත කරමින් මහජනයාට උපරිම සේවාවන් සැපයීම තමයි අපේ එකම බලාපොරොත්තුව.

ලංකා සතොස අවශ්‍යතාවට වඩා මිලදී ගැනීම්වල නිරත වන බවට චෝදනාවක් තියෙනවා නේද?

මං දන්නෙ නැහැ කවුරුහරි එහෙම චෝදනා කරන්නේ මොන පදනමකින්ද කියලා. උදාහරණයක් හැටියට අපි පසුගිය කාලයේ බිලියන 31ක අලෙවි ඉලක්කයක් වෙත ළඟා වුණා. මේ කාලයේදී අපේ දෛනික අලෙවිය 30%කින් පමණ වැඩි වෙලා තිබෙනවා. එහෙම අලෙවිය වැඩි වෙද්දී අපි වැඩියෙන් අලෙවි කිරීම සඳහා වැඩියෙන් භාණ්ඩ මිලදී ගත යුතුයි. භාණ්ඩ මිලදී ගැනීම වැඩිවෙලා තිබෙන බව ඇත්ත. ඒත් ඒක පමණට වඩා වැඩි වීමක් වන්නේ නැහැ. පාරිභෝගිකයන් අප ගැන විශ්වාසය තබලා අප කෙරෙහි යොමු වෙන කොට අපේ මෙහෙයුම් වැඩි කිරීමට අපට සිද්ධ වෙනවා. මොකද මහජනයා අප කෙරෙහි තබන විශ්වාසය වැඩි වෙනකොට අපි ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරන තත්ත්වයට පත්වෙලා සිටිය යුතුයි. ඉදිරි වසරේදී එම මිලදී ගැනීම් තවත් ඉහළ යාවි.

ඔබේ මේ උත්සාහය පසුගියදා සම්මානයකින් පවා ඇගයීමට ලක්වුණා?

ඔව්. අපි 'ස්ලිම්-නීල්සන්' ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර ලංකාවේ විශිෂ්ටතම සිල්ලර අලෙවි ජාලයට හිමි සම්මානය හිමිවුණේ ලංකා සතොසටයි. මේක තෝරාගෙන තියෙන්නේ මහජන කැමැත්ත අනුවයි. අපිත් එක්ක මෙරට බොහෝ දැවැන්ත සිල්ලර අලෙවි සල් ජාල පවා නිර්දේශ වී සිටියා. ඔවුන් තමන්ගෙ මෙහෙයුම් කටයුතුවල නියැළී සිටින්නේ අපමණ පහසුකම් සහිතවයි. ඒත් අපිට අවම පහසුකම් දුෂ්කරතා මැද මේ සම්මානය හිමිකර දුන් මහජනතාවටත්, අපේ කාර්ය මණ්ඩලයටත් අපව මෙතැනට ඔසවා තැබූ මාධ්‍යයන්ටත්, අපේ අවංක ස්තුතිය හිමිවිය යුතුයි. අපි කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් ඉදිරියේදී දැනටත් වඩා විශිෂ්ට සේවයක් ලබාදෙන්න ලංකා සතොස සැදී පැහැදී සිටිනවා. අප ලබන ලොකුම සම්මානය තමයි පාරිභෝගිකයන් ලංකා සතොසට ඇවිත් ඉන් නික්ම යද්දී "මගේ පසුම්බියට විශාල සහනයක් දැනුණා" කියන සිතිවිල්ල ඔවුන්ගේ සිත්වල ඇති වන එක.

ගැමුණු රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon