‘සිංහල අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂය’ එළිදැක්වේ

  👤  3204 readers have read this article !
By mawbima 2018-03-23

චාමිණී ගම්මන්පිල

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත 'සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය' සහ 'ශ්‍රී මත් ඩී.බී. ජයතිලක 150 වන ජන්ම සංවත්සරය' යන ග්‍රන්ථ ද්විත්වය කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පසුගියදා එළිදැක්විණි.
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ වර්තමාන ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මියගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ශබ්දකෝෂ කර්තෘ මණ්ඩලය මඟින් සම්පාදිත අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය දැනට පවත්නා අක්ෂර වින්‍යාස අකාරාදිවල ලක්ෂණ ඉක්ම වූ ශාස්ත්‍රීය පදනමකින් යුක්තව වචනයක ව්‍යාකරණ ප්‍රවර්ගයද එහි අර්ථයද නිරුක්තිය සහිතව දක්වමින් සම්පාදනය කොට තිබේ.

මෙදිනම එළිදැක් වූ 'ශ්‍රී මත් ඩී.බී. ජයතිලක 150 වන ජන්ම සංවත්සරය' ග්‍රන්ථය මඟින් ශේ‍ර්ෂ්ඨ ජාතික නායකයකු වශයෙන්ද සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම ප්‍රධාන කර්තෘවරයා වශයෙන්ද ශ්‍රී මත් ඩී.බී. ජයතිලක මහතාගේ යුග මෙහෙවර විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ඇගැයීමට ලක්කර ඇත. මේ උත්සවයේ මුලසුන මහාචාර්ය ජේ.බී. දිසානායකයන් හෙබවූ අතර මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා යන විද්වත්හු මුඛ්‍ය දේශන පැවැත්වූහ.

ශ්‍රී මත් ඩී.බී. ජයතිලකයන්ගේ 150 වැනි ජන්ම සංවත්සරයට හා සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය ආරම්භ කොට 91 වසරක් පිරීමට සමගාමීව පවත්වන ලද මේ උත්සවයේ සංවිධාන කටයුතු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon