රෝගාබාධ රැසක් ඇතිව උපන් කවිත්ම පුතුට මාස 9යි

  👤  3251 readers have read this article !
By mawbima 2018-03-23

සඳස කවිත්ම අත්තනායක යටවත්තේ මොට්ටුවෙල අංක 235/3/ඒ නිවෙසේ රුවන් කුමාර අත්තනායක සහ නදීෂානි හසංගිකා දිසානායකගේ බාලම පුතාය. තාමත් කිරි සුවඳ ඉහිරෙන කවිත්මගේ වයස මාස නවයක් තරම් වෙයි. වෙසක් සඳ මෝදු වුණු ඉකුත් වසරේ මැයි මස 2දා කවිත්ම මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේදී උපත ලැබුවේය.
කවිත්ම උපත ලැබූ එදා මෙදා තුර මවගේ දෙතනේ කිරි සුවඳින් පෝෂණය වීමට තරම් වාසනාවක් නොලද දරුවකු විය. දෛවයේ කුරිරු සරදම විසින් කවිත්මගේ සුරතලය මවුපියන්ට අහිමි කර ඇත. කවිත්ම උපතේදීම හෘදය වස්තුවේ සිදුරු තුනක් ඇතිව උපන්නේය. මුඛයේ උඩුතොලෙහි කොටසක් අහිමිව ඇත. තල්ලේද සිදුරකි. වම් කන නොමැත. ආහාර මාර්ගයේ අවහිරතාවක් හේතුවෙන් දින 18ක් ගත වූ වයසේදීම ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදුවිය.

කවිත්මගේ වැඩිමල් සොහොයුරන් බලාගෙන සිටියේ මල්ලියා සමඟ දුව පැන ඇවිද සෙල්ලම් කරන්නටය. එහෙත් කවිත්ම බාලවියට උහුලා ගැනීමට නොහැකි වේදනාවක උරුමය ඇතිව උපත ලැබීම ඔවුනගේ බලාපොරොත්තු සුන්කර දැමීමට හේතුවී ඇත. පියා රුවන්කුමාර ද ආබාධිත සෙබළෙකි. ඔහුට ලැබෙන සොච්චම් වැටුප දරුවන් තිදෙනකු තබා කවිත්මගේ ජීවිතය ගැට ගසා ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නැත.

කවිත්මගේ රෝගී තත්ත්වය යම් තරමකින් හෝ අවම කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනකුගේ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත. මේ සඳහා මහනුවර මහ රෝහලට මාසිකව යෑමට සිදුව ඇති බවත් මාසිකව රෝහලට යෑමට පමණක් රුපියල් 4000-5000ක පමණ මුදලක් වැය වන බවත් රුවන් කුමාර පවසයි. මවගේ කිරි උරාබීමට නොහැකි දරුවාට වෛද්‍යවරුන් විසින් කිරි විශේෂයක් නියම කර ඇති බවත් එම පිටි කිරි සපයා ගැනීම සඳහා මාසිකව රුපියල් 7000ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් කියූ රුවන් කුමාර මහතා දරුවා නිසා අනෙකුත් දරුවන්ටද නොවිඳිනා දුක් කන්දරාවකට මුහුණ පෑමට සිදුව ඇති බව පවසයි. "මට මගේ දරුවා පණටත් වඩා වටිනවා මගේ දරුවාගේ බෙහෙත් ටික ගන්න, කිරි ආහාරය සපයා ගන්න මට කවුරු හරි උදවු කරනවා නම් කවිත්මගේ මව නදීෂා හසංගිකා හැඬූ කඳුළින් පැවැසුවාය.

රුවන් කුමාර සහ නදීෂානිගේ පවුල සැමියා ලබන සොච්චම් වැටුපෙන් එදාවේල සපයා ගෙන ජීවත් වෙමින් රටට බරක් නොවූ දරු පවුලකි. එදිනෙදා තුන්වේල පිරිමසා ගත් මෙම දරු පවුලට අද එක් වේලකින් දවස ගෙවීමට සිදුව ඇත. පවුලට එක් වූ නවක සාමාජික කවිත්මගේ රෝග තත්ත්වය හේතුවෙන් රුවන් කුමාරගේ පවුල මහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටියි. මේ අහිංසක දරුවාගේ රෝගී තත්ත්වය අවම කර ගැනීමට උපකාරයක් කළ හැකි නම් යටවත්ත ලංකා බැංකුවේ අංක 82137254 ඇත. දුරකතන අංක 0717027596ට කතා කර ඒ සඳහා මඟ සලසා ගත හැකියි.

මාතලේ -
හේවා පී. කරුණාරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon