ලක්ෂ 62ක අපේක්ෂා ආණ්ඩුව ඉටු නොකරන්නේ නම් එජාපය එළියට පැමිණ වෙනම යා යුතුයි

  👤  3476 readers have read this article !
By mawbima 2018-03-22

මේ මස මුල් සතියේදී මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ඇති වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානියට පත්ව ඇති ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව සියයට 2ක සහනදායී පොලී අනුපාතයන් මත අත්වැල ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හා අමාත්‍යවරුන් ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පාතාල නායකයා යැයි කියන මාකඳුරේ මධුෂ් නමැත්තා පිටරටක සිට මේ තරම් හරියක් කරන්නේ කොහොමද? ඔහු පොලිසියට වඩා බලවත්ද?
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර: අද ලෝකයේ තාක්ෂණ දියුණුයි. සන්නිවේදන පහසුකම් විවිධයි. අද හිරගෙවල් ඇතුළේ ඉඳලත් අපරාධ මෙහෙයවනවා. විවිධ ජාවාරම් කරනවා. මේක අලුත් දෙයක් නොවෙයි. අපි ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ හා වේගවත් කර තිබෙනවා.

ප්‍රශ්නය: මහනුවර සිදුවීම්වලදී පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන චෝදනා නැඟෙනවා.
පිළිතුර: අපි ඒ ගැන සොයන්න පොලිසියෙන් බැහැරව අතිරේක ලේකම්වරයකු පත් කර තිබෙනවා.
ප්‍රශ්නය: පොලිස් කොමිසමේ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
පිළිතුර: ලේකම්වරයා පත් කරන්නෙත් ඉවත් කරන්නෙත් පොලිස් කොමිසම මිස අප නොවෙයි.
ප්‍රශ්නය: කතරගමදී බුද්ධි අංශ නිලධාරියකුට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පිළිතුර: එය පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් බව හෙළි වී තිබෙනවා.

ප්‍රශ්නය: වෙනම ආණ්ඩුවක් හදමු කියා චම්පික ඇමැතිවරයා යෝජනා කර තිබෙනවා?
අමාත්‍ය රාජිත සේනාරත්න: එතුමා යම් විග්‍රහයක් කළා. අපි විශාල කැප කිරීම් කරලා ලක්ෂ 62ක් ඡන්ද ලබාගෙන මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. අපි ආණුඩුව රැක ගැනීමට උපරිමයෙන් ක්‍රියා කරන අතරතුර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ජනපතිතුමා-අගමැතිතුමා එක්ව ඒ සඳහා ක්‍රියා කරන්නේ නැත්නම් අපි එළියට ඇවිත් වෙනම දේශපාලන ගමනක් යා යුතුයි.
ප්‍රශ්නය: ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවට මුහුණදෙන්න සූදානම්ද?

පිළිතුර: ඉතා පහසුවෙන් අපට මුහුණදෙන්න පුළුවන්. දේශපාලනය කියන්නේ එක එක තැනට ගිහින් අදහස් ප්‍රකාශ කිරීම නොවෙයි. ඕනෑම දෙයක් ඇතුළේ සාකච්ඡා කර ගන්න පුළුවන්.
ප්‍රශ්නය: හිටපු මහ බැංකු අධිපති අගමැති සමඟ හිතවත්. ඔහු මඟුල් ගෙදරක ගියා. නැවත පැමිණෙන බවත් අගමැතිවරයා පැවැසුවා. දැන් ඔහු අල්ලාගන්න බැහැ. දැන් මොකද කියන්නේ?

පිළිතුර: ඔහු අධිකරණයට පැමිණ සාක්ෂි දුන්නා. චූදිතයෝ තිදෙනාගෙන් දෙදෙනෙක් රක්ෂිත සිර භාරයේ. ඔහුව අත්අඩංගුවට ගන්න නීතිමය පියවර ගෙන තිබෙනවා. උදයංග වීරතුංග පිළිබඳ පරීක්ෂණ පටන් ගන්නේ ඔහු රටින් බැහැරව සිටියදී.
ප්‍රශ්නය: හිටපු ආරක්ෂක ලේකම් සහ ඔබ අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු බව ප්‍රචාර යනවා.
පිළිතුර: එයාටත් එහෙම මෝඩකමක් නෑ. මටත් එහෙම මෝඩකමක් නෑ. ආණ්ඩුව පිහිටුවූ පසු එක වතාවයි හමුවී තිබෙන්නේ.
ප්‍රශ්නය: විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පැරදුණොත්?

පිළිතුර: අපට ප්‍රතිපත්තියක් තිබෙනවා. අපට තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්න බැහැ. සමහරුන්ගේ ඔළුවේ තියෙන්නෙම මහින්ද රාජපක්ෂ. ජනවාරි 8දා සිට අප කළේ ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු කරන එක. ඒ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. අපට තව කළ යුතු දේවල් තියෙනවා.
උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon