අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය 24දා සිට දින 4ක් යාපනයේදී

  👤  3288 readers have read this article !
By mawbima 2018-03-22

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අන්තර් සමාගම් ක්‍රීඩා සමාජ ශේ්‍රණිගත කිරීමේ දැල්පන්දු තරගාවලිය මෙම මස 24දා සිට 27දා දක්වා යාපනය ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ක්‍රීඩා අමාත්‍යාංශය හා යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සම්මේලනය අනුග්‍රාහකත්වය දරන මෙම තරගාවලිය සඳහා දැල්පන්දු සම්මේලනයේ ලියාපදිංචි සංගම් 32ක් අතරින් සංගම් 26කින් කණ්ඩායම් ඉදිරිපත්වීමට නියමිතව ඇති අතර සත්කාරකත්වය දරන යාපනය දිස්ත්‍රික් සංගමයෙන් පමණක් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේ මූලික වටයේ තරග 24 හා 25 යන දිනවලදීද, අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව වටයේ තරග 26 වැනිදාද, අවසන් තරගය 27 වැනිදාද පැවැත්වීමට නියමිතව ඇත.

මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු නිවහනේදී පැවැති අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය පැවැසුවේ මෙම තරගාවලිය අංක එකේ ශේ්‍රණිගත කිරීමේ තරගාවලියක් වන බවත් මෙම තරගාවලියේදී පැහැදිලි දක්‍ෂතා දක්වන ක්‍රීඩිකාවන් ජාතික සංවර්ධන සංචිතය සඳහා තෝරාගැනීමට අදහස් කරගෙන ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනි තිලකා ජිනදාස පැවැසුවේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩිකාවන් සොයා ගැනීම සඳහා යම් රටක් හෝ දෙකක් සමඟ දැල්පන්දු තරගාවලි පැවැත්විය යුතු බවය. "ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සෑම වසරකදීම එම රටවල් දෙක අතර තරගාවලි (ඉඥපඪඥඵ) පවත්වනවා. එසේ පැවැත්වීමෙන් තම තමන්ගේ දක්‍ෂතා තේරුම් ගැනීමට හැකියි. මේ සම්බන්ධයෙන් මම දැල්පන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා" යනුවෙන්ද තිලකා ජිනදාස පැවැසුවාය.

මේ අතර පසුගිය වසරේ මැයි මාසයේදී දකුණු කොරියාවේදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේදී තරග පාවාදුන්නේ යැයි කියන ක්‍රීඩිකාවක් මේ වනවිට තෝරාගෙන ඇති ජාතික සංචිතයට ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බලා වහාම පියවරක් ගන්නා ලෙස මාධ්‍යවේදීන් විසින් දැල්පන්දු සම්මේලනයේ සභාපතිවරියගෙන් ඉල්ලීමක් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා දැල්පන්දු සම්මේලනයේ උප සභාපතිනි ලක්‍ෂ්මී වික්ටෝරියා, ලේකම් ජයන්ති සෝමසේකරම්, ශිරෝමී කුරුප්පු, සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිනි (දැල්පන්දු) ටී. එම්. පී. කුමාරිහාමි යන මහත්මීහුද එක්ව සිටියහ.

ඡායාරූපය - සසඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon