ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් බය නැතිව හරි දේ ලියන්න

  👤  3215 readers have read this article !
By mawbima 2018-03-22

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තමන් ස්තුතිවන්ත වන බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඇති වන ගැටලුවලදී ඔවුන් සමඟ සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පසුගියදා (20දා) පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය මඟින් පළමුවරට සංවිධානය කරන ලද ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ එක්දින වැඩමුළුවේ සහතිකපත්‍ර ප්‍රදානය සඳහා එක් වූ අවස්ථාවේදීය. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයද නියෝජනය කරමින් ක්‍රීඩා මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ දේශන පැවැත්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ෂණ ගුණවර්ධන, 'දිවයින' පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘ අශෝක ගුණතිලක, 'ලංකාදීප' පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරිය යන මහත්වරු සහභාගි වූහ. තවද මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති චම්පික ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම් සිරිනාම රාජපක්ෂ, භාණ්ඩාගාරික යොහාන් භාසුර, ජාතික සංවිධායක රාම් ක්‍රිෂ් යන මහත්වරුද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා "මම ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළමුවැනි කටයුත්ත ලෙස පවත්වන මෙම වැඩමුළුවේදී ඔබලා සියලුදෙනා සමඟ එකතු වෙන්න ලැබීම ගැන. ක්‍රීඩා මාධ්‍යවේදයේදී සිදුකරනු ලබන ගවේෂණශීලී මාධ්‍යකරණය ඉතාමත් තාක්ෂණිකව සිදු කළ යුතු කාර්යයක් නිසා ඔවුන් ක්‍රීඩාවේ තිබෙන අංගෝපාංගයන් ගැන සහ එහි තිබෙන අනෙක් සියලුම කාරණා ගැනත් හොඳ අවබෝධයකින් තොරව ලියන්න පටන් ගතහොත් මං හිතන්නේ ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වනවා. ඒ නිසා මෙම වැඩමුළුවට සහභාගි වන ඔබ සියලු දෙනා මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න කැමැතියි.

ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබගේ විවේචන, කරුණු දැක්වීම්, අදහස් අපගේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට විශාල සහයෝගයක් වෙනවා. ඒ නිසා මාධ්‍යවේදීන් අතර ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබ කරන කාර්යභාරය ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න කැමැතියි. පුද්ගල අභිවන්දනය පැත්තකින් තියලා ක්‍රීඩාව ගැන හරියට ලියන්න පුළුවන් නම් මා සිතන්නේ අපි ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙයයි. හරි දේ බය නැතිව ලියන්න. මම සෑම විටකම ඕනෑම දෙයකදී ඔබ වෙනුවෙන් ඉන්නවා. අපි ඉදිරි කාලයේදී ශිෂ්‍යත්ව, වැඩමුළු සහ සංචාර වගේ දේවල් ඔබට ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ නිසා ඉතාමත් ප්‍රවේශමෙන් අපි මේ ගමන යායුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර සිටින සමහර පුද්ගලයන් විදෙස් සංචාර සඳහා වෙනත් ආයතනවල නම් භාවිත කරමින් වංචනිකව කටයුතු කරල තිබෙනවා. ඒවා නැවැත්වීම අත්‍යවශ්‍යයි. ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබ සියලුදෙනා ඉතාමත් ගෞරවනීයව තම කටයුතු කිරීම අවශ්‍යයි. මම හැමදාමත් මාධ්‍යවේදීන් සම්බන්ධව කටයුතු කළ කෙනෙක්. ඔවුන් මුහුණදෙන ප්‍රශ්නවලදී දැඩි ලෙස මැදිහත් වුණ කෙනෙක්. ඒ නිසා ඔබගේ පෑන හැසිරවීමේදී ඉතාමත් කල්පනාකාරීව වගකීමෙන් එම කටයුත්ත කරන්න කියලත් මම ඉල්ලන්න කැමැතියි" යැයි පැවැසීය.

ඡායාරූප _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon