ආර්ථික ප්‍රගතිය තිරසාරව පවත්වාගෙන යෑමට ජාතික උපාය මාර්ගයක් ඇරැඹේ

  👤  3283 readers have read this article !
By mawbima 2018-03-22

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - අකිල ජයවර්ධන

ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයක් සකස් කිරීම පෙරේදා (20දා) ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී එය සිදුකරනු ලැබීය. ආර්ථික ප්‍රගතිය තිරසාරව පවත්වාගෙන යෑම සඳහා සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගැනීම සහ සැමට අවස්ථා නිර්මාණය කිරීම, ගෝලීය වශයෙන් තරගකාරී අපනයන වෙත නැඹුරු ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමද මෙහි ප්‍රධාන අරමුණු අතර වෙයි. මූල්‍යමය වශයෙන් බැහැර වූ අඩු ආදායම් ලබන සමාජ කොටස් විධිමත් මූල්‍ය අංශය වෙත යොමු කිරීම මඟින් දරිද්‍රතාව මුලිනුපුටා දැමීමද එහි තවත් අරමුණක් වෙයි.

මේ අනුව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර හෝ සකස් කරමින් පවතින ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවත් එකතු වී ඇත. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව විසින් මහ බැංකුවට සපයන්නේය.
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගය සකස් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017-2018 ප්‍රතිපත්තිමය දැක්මට අනුව සිදු කෙරේ. එලෙස සකස් කෙරෙන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය 2019 මැද භාගය වනවිට ක්‍රියාවට නැංවීම මහ බැංකුවේ අපේක්ෂාවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon