ආගමන හා විගමන නිලධාරීහු ඊයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

  👤  3218 readers have read this article !
By mawbima 2018-03-22

කටුනායක-ගයා තිරිමාදුර

ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ "සාධාරණත්වය සඳහා වූ අරගලය" යන මැයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹී ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ශ්‍රී ලංකාවේ සියලුම වරායන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සම්බන්ධව මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ ප්‍රධාන ඉල්ලීම් තුනක් පදනම් කරගෙන බව දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල මහතා පැවැසීය.

තම වෘත්තිය සඳහා සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීම, ඉකුත් 2002 වසර දක්වා පැවැති නඩු පැවැරීමේ කටයුතු සිදු කළ නීති ඒකකය යළි ස්ථාපිත කිරීම සහ විදේශ රටවල දැනට පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට, දැනට පත් කර ඇති දේශපාලන හිතවතුන් වෙනුවට වෘත්තීය පරිණතභාවයක් ඇති තම දෙපාර්තමේන්තු නිලධාරීන් අනුයුක්ත කිරීම මේ ප්‍රධාන ඉල්ලීම් තුනයි. මේ පිළිබඳ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළින් පැමිණෙන සහ පිටත්ව යන මගීන් දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමක්ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමාන්තරව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රාජකාරිමය වශයෙන් ගුවන් මගීන්ට බාධා නොවන බවද සභාපති අරුණ කණුගල සඳහන් කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අකැමැත්තෙන් හෝ එළැඹීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon