බුද්ධි අංශ කොස්තාපල්ට කතරගමදී වෙඩි

  👤  3225 readers have read this article !
By mawbima 2018-03-22

තංගල්ල දිසා බුද්ධි සේවා කාර්යාංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරියකුට කතරගම බස්නැවතුම්පොළ අසලදී ත්‍රීවීල් රථයකින් පැමිණි කීපදෙනෙක් ඊයේ අලුයම වෙඩි තබා පලාගොස් තිබේ.

තංගල්ල තම සේවා ස්ථානයට වාර්තා කිරීමට පැමිණෙමින් සිටියදී ඊයේ පෙරවරු 6.50ට පමණ මෙසේ වෙඩි වැදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා වයස අවුරුදු 42ක් පමණ වන විවාහකයෙකි. වෙඩි තැබීම නිසා ඔහුගේ වම් අතට තුවාල සිදුවී ඇත. පසුව දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. තුවාල ලැබූ පොලිස් නිලධාරියා කතරගම, වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු යතුරුපැදියකින් නිවෙසේ සිට පැමිණ යතුරුපැදිය කතරගම බස් නැවතුම්පොළ අසල නිවෙසක නතර කර බස් රථයකින් දිනපතා තංගල්ලට යන අතර ඊයේ (21දා) දිනද යතුරුපැදිය ඒ අයුරින්ම නතර කර තිබිණි. කතරගම බස්නැවතුම්පොළට පැමිණෙමින් සිටියදී මේ වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කතරගම පොලිසිය හා තවත් පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon