පාතාල ‘චූලා’ අත්අඩංගුවට

  👤  3496 readers have read this article !
By mawbima 2018-03-22

මනුෂ්‍ය ඝාතන හා වෙඩි තැබීම් සිද්ධි කීපයකට අදාළව අවශ්‍ය කර සිටි "චූලා" නමැත්තකු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම -බටුවත්ත පදිංචි සියඹලාපිටියගේ චමින්ද වසන්ත නොහොත් චූලා වසන්ත (31) හා බොරැල්ල ස්වර්ණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචි රැන්ඩොල් ජූඩ් බෙට්ස් (38) යන පාතාල සාමාජිකයන් දෙදෙනෙකි. ඉකුත් නොවැම්බර් 29 වැනි දින මරදාන වීරසේකර මාවතේ ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, පෙබරවාරි මස 04 වැනි දින උඩුගම්පළ - කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 08 වැනි දින කොටහේන - හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා චෝදනා ලබා තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධීන්වලට ආදාළ සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 16 වැනි දින බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 17 වැනි දින කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් සිදු කළ ඉහත කී සියලු අපරාධයන් පොලිසිය මඟින් හෙළිකරගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon