රාසා හා වොලර් එක්වී ජයග්‍රහණය ලංකාවෙන් ඉවතට අදී

  👤  3580 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (35).jpg (600×350)

සිරිනාම රාජපක්‍ෂ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ක්‍රිකට් තරගාවලියේ එකම ටෙස්ට් තරගය ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම තවත් කඩුලු 4ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 262ක් ඉදිරියෙන් සිටී. තම 7 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සිකන්දර් රාසා නොදැවී ඔහුගේ ප්‍රථම ටෙස්ට් ශතකයට ලකුණු 3ක් අඩුවෙන් වාර්තා කරමින් නොදැවී 57ක් ලබා සිටින වෝලර් සමඟ දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබාදීමේ සිම්බාබ්වේ සටනේ නියමුවා විය.

පන්දුවාර 83කට මුහුණ දෙමින් කඩුලු 7කට ලකුණු 293ක් සේ පෙරේදා (තරගයේ 2 වැනි දිනය) දිනය අවසානයේ සිට ඊයේ ලකුණු රැස්කිරීම ඇරැඹූ අසේල ගුණරත්න (නොදැවී 24) හා රංගන හේරත් (නොදැවී 5යි) යුගලය අතරින් හේරත් තවත් ලකුණු 12ක් එකතු කර සිටි මොහොතේ ෂෝන් විලියම්ස්ගේ පන්දුවකට දැවී ගියේය. ඉන් පසුව පැමිණි සුරංග ලක්මාල්ද පෙරළා පන්දු යවන්නාටම උඩපන්දුවක් දීමෙන් නායක කේ‍ර්මර් හමුවේ දැවී ගිය අතර ආබාධයක් සහිතව ක්‍රීඩා කළ අසේල ගුණරත්න තරගයේ 103 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුව යැවූ කේ‍ර්මර් හමුවේ පරාජයට පත්විය. ඒ වන විට අසේල ලකුණු 45ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 346කින් නිමා කරන විට සිම්බාබ්වේ නායකයා තම ටෙස්ට් දිවියේ ප්‍රථම වරට ඉනිමකදී කඩුලු 5ක් දවා ගැනීම සනිටුහන් කළේය.

එසේ පන්දුවෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකා ඉනිම ඔවුන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පිටුපසින් තබාගෙන සිම්බාබ්වේ පිතිකරුවෝ ඊයේ දිවා භෝජනයට මිනිත්තු 33කට පෙර තම දෙවැනි ඉනිම ආරම්භ කළ ද චකබ්වා, මුසකණ්ඩා හා මසකඩ්සා යන පිතිකරුවන් තිදෙනාම ලකුණු 17ක් තුළ නැවත හරවා යවන්නට රංගන හේරත් සමත් විය.

තවද තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (160ක්) වාර්තා කරන්න පෙරේදා උදෑසන සමත් වූ කේ‍රග් අර්වින්ට දෙවැනි ඉනිම වෙනුවෙන් ඊයේ ලබා ගන්නට ඉඩ ලැබුණේ ලකුණු 5ක් පමණි. එසේ ඔවුන්ගේ දෙවැනි ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ඉදිරියේ අර්වින් දැවී යන විට ලකුණු පුවරුව 23ක් සේ කියැවුණ අතර තවත් ලකුණු 36ක් එකතු වෙද්දී ලකුණු 22ක් ලබා සිටි විලියම්ස්ගේ කඩුල්ල හේරත් බිඳහෙළීය.

එහෙත් එතැන් සිට සිකන්දර් රාසාට එකතු වූ පීටර් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක් රැස්කිරීමත් 7 වැනි කඩුල්ල සඳහා රාසා සමඟ මැල්කම් හා වොලර් තැබූ ලකුණු 107ක සබඳතාවත් සිම්බාබ්වේ පිලට තවත් ටෙස්ට් ජයග්‍රහණයක මඟ හෙළි කිරීමට සමත් විය. පන්දු 54කට මුහුණ දෙමින් ඊයේ දෙවැනි ඉනිමේ 61 වැනි පන්දු වාරයේදී වොලර් තම 4 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර තම මංගල ටෙස්ට් ශතකය සඳහා රාසාට තවත් ලකුණු 3ක් අවශ්‍යය. පෙරේදා දිනයේ උදෑසන තරගය ආරම්භ වී පැය 1/2ක් පමණ ගත වන විට සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 356කට සීමා වූ අතර එහිදී ලකුණු 116කට කඩුලු 5ක් දවාගෙන 30 වැනි වරටත් ටෙස්ට් තරග ඉනිමක එම දස්කම කරන්නට හේරත් සමත් විය. ඉන් පසුව පෙරේදා (15දා) උදෑසන පළමු ඉනිම ඇරඹූ කරුණාරත්න හා තරංගගේ සබඳතාව 84කට සීමා වුවද දිමුත් කරුණාරත්න ලකුණු 25කට තිරිපානෝ ඉදිරියේ දැවී යෑමෙන් පසුව තවත් ලකුණු 32ක් තුළ තරංග හා මෙන්ඩිස් ද දැවී ගියේය. ඉන් පසුව නායක චන්දිමාල් හා හිටපු නායක මැතිව්ස් අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 96ක සබඳතාව ශ්‍රී ලංකා ඉනිමේ දුටු ඉහළම සබඳතාව විය. එසේ ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් නොවුවද සිම්බාබ්වේ ඉනිම දෙකේදී මැද පෙළ ශක්තිමත් බව පෙන්වීය.

ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්