ජනපති අද පාකිස්තාන් යයි

  👤  3465 readers have read this article !
By mawbima 2018-03-22

රෝහණ බමුණුආරච්චි

පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන්ගේ ආරාධනයෙන් එරට ජාතික දිනයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තෙදින නිල සංචාරයක් සඳහා අද (22දා) පාකිස්තානය බලා පිටත් වෙයි.

මේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් කාචන් අබ්බාසි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරුණ කටයුතු සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ පාකිස්තාන විදේශ සේවා අධ්‍යාපන ආයතනය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය හා ඉස්ලාමාබාද්හි උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුම සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හා පාකිස්තාන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික විද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුමටද අස්සන් තැබීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉස්ලාමාබාද් හි රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමටද නියමිතය.
එම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වන බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා - පාකිස්තාන මිතුදමේ සුවිශේෂී සටහන් තබමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අවස්ථාවට එක්වන අතර එය මෑත යුගයේ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකු හට මෙවන් නිල ඇරැයුමක් සිදුකළ පළමු අවස්ථාව ලෙසද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon