ආනන්ද - නාලන්ද එක්දින තරගයේ ජයග්‍රහණය නාලන්දාවට

  👤  2730 readers have read this article !
By mawbima 2018-03-21

ගමිත දෙහිපිටිය

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය හෙවත් සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පී. ද එස්. කුලරත්න අභියෝගතා කුසලානය වෙනුවෙන් 44 වැනි වරටත් පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය
සමත් විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්ද කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1ක් තුළ සියලුදෙනා දැවී ගොස් ලකුණු 244ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක අසෙල් සිගේරා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නාලන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක ලක්ෂිත රසාංජන ලකුණු 48ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 245ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නාලන්ද විදුහල් කණ්ඩායම පන්දුවාර 44ක් තුළ කඩුලු 5ක් පමණක් දැවීගොස් ලකුණු 247ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය. එහිදී සුහඟ විජේවර්ධන ලකුණු 68ක් සහ චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 48ක් රැස්කරගනිමින් නාලන්ද කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. පන්දු යැවීමේදී චාමික ගුණසේකර, සනත් දසනායක, හසිදු ෂාමික සහ දමින්ද රේෂාන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

මේ අතර පන්දු 71 කදී ලකුණු 68ක් ලබා ගත් නාලන්ද කණ්ඩායමේ සුහඟ විජේවර්ධන තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය.

ඡායාරූපය -
වෙනුර චන්ද්‍රමාලිත

ලකුණු සාරාංශය

ආනන්ද විද්‍යාලය _ පන්දුවාර 49 කදී සියල්ලන් දැවී ලකුණු 244 (අසෙල් සිගේරා 87, ළහිරු හිරණ්‍ය 38, ලක්ෂිත රසාංජන 48/3, චමිඳු විජේසිංහ 31/2)

නාලන්ද විද්‍යාලය _ පන්දුවාර 44කදී කඩුලු 5 කට ලකුණු 247 (සුහඟ විජේවර්ධන 68, චමිඳු විජේසිංහ නොදැවී 48, චාමික ගුණසේකර 27/1, සනත් දසනායක 19/1)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon