හිටපු විදුහල්පති ඇතුළු ගුරුවරුන් 6 දෙනාත් හිටපු පොලිස් ස්ථානාධිපතිත් නි‍ෙදාස් කොට නිදහස්

  👤  3023 readers have read this article !
By mawbima 2018-03-21

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය / ආනන්ද කරුණාදාස

බාලවයස්කාර පාසල් සිසුවකුට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය තුළදී පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 150ක වන්දි මුදලක් ඉල්ලා එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු ඇතුළු ගුරුවරුන් හය දෙනකුට හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්ති පාර්ශ්වය සියලුම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කර ඔවුන්ගේ නඩු ගාස්තු වශයෙන් රුපියල් හාර ලක්ෂ පනස් දහසක මුදල ගෙවන ලෙස අනුරාධපුර දිසා විනිසුරු අතිරේක මහෙස්ත්‍රාත් චමරි දනන්සූරිය මහත්මිය පැමිණිලි පාර්ශ්වයට නියෝග කළාය.

අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකුට 2005 වර්ෂයේදී අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති විපුලසේන රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය විදුහල්පති එම්. තිලකරත්න, උප ගුරුවරුන් වූ ජී.එම්.එම්. ශාන්ත ශ්‍රී , චින්තක මුණසිංහ, ජානක ගුණතිලක, ඒ. සිරිසේන හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් බලගල්ල (වර්තමානයේ ජනාධිපති

ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරි) යන මහත්වරුන්ට එරෙහිව සිසුවාගේ පියා වන්දි ඉල්ලා අනුරාධපුර දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. 2005 ජූලි 26දා හෝ ඊට ආසන්න දිනයකදී පැමිණිලිකාර 16 හැවිරිදි බාලවයස්කාර සිසුවා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන පෙම්වතිය හමුවීම සඳහා නීති විරෝධී අන්දමින් මධ්‍ය විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් පිරිසකට යම්කිසි පුද්ගලයකු ශිෂ්‍ය නේවාසිකාගාර දෙසින් පාසලට ඇතුළුවී ඇති බවට ලැබුණු තොරතුරු අනුව එහි ගොස් සිසුවා විද්‍යාලය භාරයට ගෙන තිබිණි. එවකට පැවැති ආරක්ෂක තත්ත්වය මත සිසුවා විද්‍යාලය භාරයට ගෙන පොලිස් ස්ථානයට භාරදීමට විදුහල්පතිවරයා කටයුතු කිරීමට සූදානම් වුවත් එවකට ජොශප් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත පාසල් ක්‍රමවේදයට අනුව සිසුවා ඔහුගේ මව ඇතුළු ඥාතීන්ට භාරදී තිබිණි.

මවට භාරදුන් අවස්ථාවේ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පාසලේ උස් තාප්පයකින් සිසුවා පැන පලා ගොස් තිබූ අතර 2005 ජූලි 29දා සිසුවාගේ මවුපියන් විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට ගොස් සිය දරුවාට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති විපුලසේන රාජපක්ෂ මහතා ප්‍රමුඛ හිටපු නියෝජ්‍ය විදුහල්පති එම්. තිලකරත්න, උප ගුරුවරයකු වූ ජී. එම්. එම්. ශාන්ත ශ්‍රී යන මහත්වරුන් පහරදී ඇති බව කියමින් පැමිණිලි කර තිබිණි. ඒ අනුව ඔවුන්ට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබූ තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව සැකකාර විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා 2017 වසරේ පෙබරවාරි මස 21දා අධිකරණය මඟින් නි‍ෙදාස් කොට නිදහස් කර තිබිණි. අනතුරුව සිසුවාගේ මවුපියන් විසින් මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ඇතුළු හය දෙනකු පහරදීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් හා එවකට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බව කියමින් ඔහුගෙන් රුපියල් ලක්ෂ 30ක වන්දියක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය විදුහල්පතිවරයා ඇතුළු ගුරු මඬුල්ල හෝ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සිසුවාට කිසිදු ආකාරයක අගතියක් සිදුකර නොමැති බව නිගමනය කර ඔවුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් 450,000ක මුදලක් ගෙවන ලෙසත් නියෝග කළාය. විදුහල්පතිවරයා ඇතුළු පිරිස එතරම් මුදලක් නඩු ගාස්තු වශයෙන් අවශ්‍ය නොමැති බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ ප්‍රකාශයට අනුව එක් අයකුට රුපියල් දස දහස බැගින් රුපියල් 60,000ක මුදලක් ගෙවන ලෙස විනිසුරුවරිය පැමිණිල්ලට නියෝග කළාය.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නඩු ගාස්තුවක් අය නොකරමින් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon