එල්ටීටීඊ දේශපාලන අංශයේ නායක ඇතුළු පිරිසක් වෙනුවෙන් ගොනු කළ හබයාස්කෝපස් නඩුව කල් යයි

  👤  2833 readers have read this article !
By mawbima 2018-03-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යුද හමුදාවට භාරවීමෙන් පසු අතුරුදන් වී ඇතැයි කියන එල්ටීටීඊ සංවිධානයේ වවුනියාව හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල හිටපු දේශපාලන අංශ නායක එස්. එළිලන් ඇතුළු තවත් පිරිසක් වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපස් නඩු විභාගය මුලතිව් මහෙස්ත්‍රාත් පී. සුදර්ශන මහතා ජුනි මස 17දාට කල් දැමීමට නියම කළේය.

එළිලන් වෙනුවෙන් එම හබයාස්කෝපස් නඩු ගොනුකොට ඇත්තේ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු පිළිබඳව ඇමැතිනි ආනන්දි සශිහරන් මහත්මියයි. එවැනි නඩු 14ක් ගොනුකොට ඇති අතර එම හබයාස්කෝපස් පෙත්සම් මඟින් දක්වා ඇත්තේ තම ස්වාමිපුරුෂයන් අවසන් යුද සමයේදී යුද හමුදාවේ ඉල්ලීම මත ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කොට දෙන මෙන් ඉල්ලා සාක්කි සහිතව යුද හමුදාවට භාරදුන් බවයි.

මේ වනවිට සාක්කි වශයෙන් සිටි කතෝලික පූජකවරුන් දෙදෙනාද අතුරුදන්ව ඇති බව එම පෙත්සම්වල සඳහන්ව ඇති අතර ඒ වෙනුවෙන් වවුනියාව දිසා අධිකරණයේ වෙනම නඩුවක් විභාග වෙමින් පවතින බව මේ නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්. රත්නවේල් මහතා කියා සිටියේය.

අතුරුදන් වූවන් වෙනුවෙන් වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇත්තේ යුද හමුදාවයි. එවකට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල්වරයා මෙම නඩු වෙනුවෙන් සාක්කි ලබා ගැනීමට අවස්ථා කීපයකදීම මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon