ඩොලර් 67,000ක් බැංකොක් ගෙනයන්න හැදූ ඉන්දියානු කැසිනෝ අන්තුවාට රේගු ඇප

  👤  2824 readers have read this article !
By mawbima 2018-03-21

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූපන් දහසක් (103,85,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීති විරෝධීව තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ කැසිනෝ සුදූකරුවකු ඊයේ (20දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු තායිලන්තයේ බැංකොක් නුවර ව්‍යාපාර කටයුතු කරන 50 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා යැයි රේගුවට ප්‍රකාශ කර තිබේ.

ඔහු ඊයේ උදෑසන 7.10ට තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 404 දරන ගුවන් යානයට නැඟීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබිණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 67,000ක මුදලක් තිබූ අතර, ඔහු ඒ බැව් රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

එහෙත් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අනුව විදේශයකට මෙසේ විදේශ මුදල් අවශ්‍ය තරමක් ගෙන යා හැකි වුවත්, ඒවා ශ්‍රී ලංකාවේ දී ඉපැයූ ආකාරය ඔවුන් රේගුව හමුවේ ප්‍රකාශ කළ යුතු බව එම පනතේ සඳහන් වේ. ඒ අනුව මෙම මුදල් තොගය අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන්, මෙම ව්‍යාපාරිකයා පුද්ගල ඇප මත නිදහස් කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජබීර් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ. ඔබේසේකර සහ රේගු අධිකාරි රවී කුමාරන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon