හිටපු කොටි සාමාජිකයාගේ පාපෝච්චාරණය නීත්‍යනුකූල යැයි අනුරාධපුර මහාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ඇපෑලක්

  👤  2844 readers have read this article !
By mawbima 2018-03-21

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව පිළිගනිමින් කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකූල බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මඟින් අභියාචනාධිකරණයට මේ ඇපෑල ඉදිරිපත් කර ඇත්තේ කොටි සංවිධානයේ මිසයිල
බළගණයේ හිටපු ප්‍රබලයකු වන ඉරාසතුරෙයි ජෙගන් නොහොත් පුලවන් නමැති විත්තිකරුය.

විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බළගණයේ
හිටපු ඉරාසතුරෙයි ජෙගන් නමැති විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපෝච්චරණය නීත්‍යනුකූලද? නැද්ද? යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි.

අනුරාධපුර විශේෂ මහාධිකරණය තීරණය කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මේ විත්තිකරු මීට පෙර ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකූල බවයි.

විත්තිකාර හිටපු කොටි සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකූල එකක් නොවන බවට විත්තියේ නීතිඥවරයා නඩු විභාගයේදී
දීර්ඝව නැඟූ තර්ක මහාධිකරණය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මහාධිකරණය මෙසේ පිළිගනු ලැබුවේ කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල සාමාජිකයකු වන ඉරාසතුරෙයි ජෙගන් හෙවත් පුලවන් නමැති මේ නඩුවේ දෙවැනි විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපෝච්චාරණයයි.

කොටි ත්‍රස්තවාදීන් විසින් විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානයක් තලාව වීරවැව ප්‍රදේශයට බිම හෙළා විනාශ කිරීම හේතුවෙන් එම යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා, ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන් 37 දෙනකු මරණයට පත් විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා දැනට රිමාන්ඩ් කර සිටින කොටි මිසයිල බළගණයේ හිටපු ප්‍රබලයන් දෙදෙනා මේ මස 25 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ මහධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා එදිනට යළි අනුරාධපුර විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බණ්ඩාර මහතාට නියෝග කළේය.

මේ අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛණ්ඩව බන්ධනාගාර ගතව සිටින්නේ යාපනය, මර්කඩි පටුමඟ, අංක 29/4 ලිපිනයේ ඉරාසතුරෙයි ජෙගන් නොහොත් පුලවන් සහ යාපනය, පිරිඩිඩි දකුණ, නිර්වේලි ලිපිනයේ නල්ලාමි සිවලිංගම් නොහොත් සින්නතිලකන්ය.

2000 වසරේ මාර්තු 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයක පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝ 32 ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම ගුවන් යානය තලාව වීරවැව ප්‍රදේශයට බිම හෙළා ගුවන් යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා මෙන්ම යුද හමුදා ලුතිනන්වරුන් වන රෝහණ රුවන් අමරසේකර, උදිත් සඳුන් ජයතිලක, දිමුතු ආසිරි සහ ආනන්ද ෂමින්ද සිල්වා සහ යුද, ගුවන් නාවික සහ පොලිස් ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් 32 දෙනකු මරණයට පත් කළැයි මෙම විත්තිකාර කොටි මිසයිල බළගණයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon