විශ්වාසභංග යෝජනාව ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කළේ මොනවාද?

  👤  2856 readers have read this article !
By mawbima 2018-03-21

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ (20දා) දින පාර්ලිමේන්තුවේදී රැස්වූයේ උදෑසන 10.30ට පමණය. පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 4හි පැවැති මෙම රැස්වීම පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු බොහෝ දෙනකු මහත් උනන්දුවෙන් මෙම රැස්වීම සඳහා පැමිණෙන ආකාරයක් දක්නට ලැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන නිසා ඊට සහභාගි වීම සඳහා මෙසේ වැඩි උනන්දුවකින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැමිණෙන්නට වූහ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව ගැන ප්‍රථමයෙන්ම කතා කරන්නට වූයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාය.
"රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට අස්සන් ලබාගනිමින් යනවා" යනුවෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා තම පැහැදිලි කිරීම ආරම්භ කළේය. එම කතාව අවසානයේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විශ්වාසභංග යෝජනාවට අස්සන් කර තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව ගැන විමසා සිටියේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයාගෙනි.

ඒ වන විටත් තමා ළඟ ඇති අස්සන් ලේඛනය ඉතා සුපරීක්‍ෂාකාරීව ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා පරීක්‍ෂා කරමින් සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාගෙන් 51 දෙනකු දැනට විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා තිබෙන බව ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා විදේශගතවී සිටින බවත් දැනට බන්ධනාගාරගතව සිටින එක් මන්ත්‍රිවරයකුට අස්සන් කිරීමට නොහැකිවී තිබෙන බවත් මෙහිදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා විසින් පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ වර්තමානයේ පවතින තත්ත්වය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකුම අදහස් දක්වන්නට වූහ.
නිමල් ලාන්සා, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අදහස් දක්වන්නට වූ අතර ඇතැම් අවස්ථාවලදී යම් යම් උණුසුම්කාරී අවස්ථාද ඇතිවුණි.

මෙම විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් අස්සන් කරාවිද? නැත්නම් කිහිපදෙනකු පමණක් අස්සන් කරාවිද? යනුවෙන් ඇතැමකු මෙහිදී ප්‍රශ්න කරන්නට විය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් වාගේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා කැමැත්තෙන් ඉන්නේ. කොටසක් අස්සන් කරාවි. ඉතිරි කොටස ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්න ඡන්දය ප්‍රකාශ කරාවි". ඊට ප්‍රතිචාර වශයෙන් කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.
"එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය මොන වාගේ වේවිද" තවත් මන්ත්‍රිවරයකු විමසුවේය.

"සංකේතාත්මකව අස්සන් කරන්න කිහිපදෙනකු කැමැත්ත පළ කරලා තියෙන්නේ. එම අස්සන් ලැබුණාට පසුව බාර දෙමු" තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කීවේය.
"ඔය කියන විදියට ශ්‍රී ලංකා එකෙනුයි යූ.ඇන්.පී. එකෙනුයි අස්සන් නොලැබුණොත් කරන්නේ මොකක්ද"තවත් මන්ත්‍රිවරයකු විමසා සිටියේය.

මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා සහාය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කවුරුන් සහාය ලබාදුන්නත් නැතත් මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. එතකොට රටේ ජනතාවට හොඳහැටි බලාගන්න පුළුවන් අගමැති ආරක්‍ෂා කරනවා නම් එහෙම කරන්නේ කවුද? යනුවෙන් තවත් මන්ත්‍රිවරයෙක් පැවැසුවේය.

පැය 2කට ආසන්න වේලාවක් පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිටතට පැමිණි අතර විශ්වාසභංග ලිපිගොනුව රැගෙන පිටතට පැමිණියේ ෂෙහාන් සේමසිංහ සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරුන්ය.

රැස්වීම අවසන් වී තවත් මන්ත්‍රිවරුන් එළියට පැමිණෙන්නට වූ අතර ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා "ඊර්ණීර්ථී 10" යනුවෙන් කෑගසුවේය. ඒ කෑගැසුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාටය. "ඊර්ණීර්ථී 10" යනුවෙන් රජයේ අමාත්‍යවරුන් 10 දෙනකුට එරෙහිව චෝදනා එල්ල කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොස් ඇත.

"ඊර්ණීර්ථී 10" වලින් ඉවර නැහැ. තවත් කට්ටියක් ගැන ළඟදීම පැමිණිලි ඉදිරිපත් කරනවා" යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවන ස්ථානයේ ‍ෙදාරටුව අසලදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු මුණගැසෙන්නේය. එක්කෙනකු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර අනෙක් කෙනා නියෝජනය කරනු ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කයයි.
මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් අතර යම් රහස් කතාබහක් සිදුවූ අතර මෙහිදී සාකච්ඡා කෙරුණේ විශ්වාසභංග යෝජනාවේ අස්සන් පිළිබඳවයි.

ඉන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් සාර්ථක ප්‍රතිචාරයක් දක්නට තිබෙන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පුස්තකාලය අසලදී මුණගැසුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් මහතාය.

"විශ්වාසභංග යෝජනාවට මොකද කරන්නේ" නිමල් ලාන්සා මන්ත්‍රිවරයා විමසුවේය.

"මොනවා වෙනවාද? අගමැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව අපි පරාජය කරනවා" යනුවෙන් මරික්කාර්
මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

"බලමු බලමු" යනුවෙන් නිමල් ලංසා මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

ඉන්පසුව කතාබහ සිදුවූයේ 2020 ජනාධිපතිවරණය පිළිබඳවයි.

"2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම තමයි අපේ ප්‍රධාන දේශපාලන අරමුණ වෙලා තියෙන්නේ" එස්. එම්. මරික්කාර් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

"බලමු. බලමු" ඊටත් සිනහවෙමින් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ නිමල් ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.

ඉන් අනතුරුව එම ස්ථානයෙන් පැමිණ විදුලි සෝපානයට ඇතුළුවීමට පැමිණියේ ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක මහතාය.

විශ්වාසභංග යෝජනාවට අස්සන් කළාද? නිමල් ලංසා මන්ත්‍රිවරයා විමසුවේය.

ඊට සෘජු පිළිතුරක් ලබානොදුන් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඡන්දය දෙනවිට බලාගනිමු කියාය.

මේ අතර ඊයේ දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණේ භාර (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයයි.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයෙත් විරුද්ධ පක්ෂයෙත් ජනතා නියෝජිතයන් අතර උණුසුම් අදහස් හුවමාරුවීම්ද දක්නට ලැබුණි.

මෙහිදී හතර වටේටම නෙළන්නට පටන්ගත් සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණය හා නිතිඥවරුන් දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

මං කතාකරන්න හදනකොට එස්. බී. දිසානායක ඇමැතිතුමා මට උපදෙස් දුන්නා පරිස්සමෙන් කතා කරන්න කියලා. එතුමාටත් එහෙම කතාකරපු නිසා අත්දැකීමක් තිබෙනවා. නමුත් මං හිරේ ගියත් කියන්න තියෙන දේ කෙළින්ම කියනවා. කොහොමත් මට නඩුවක් දාලා තියෙන්නෙ. පාර්ලිමේන්තුවේදී පිටතදී කියන දේමයි මං පාර්ලිමේන්තුව ඇතුළෙදීත් කියන්නේ.

අන්ත දූෂිත රටවල් හතරෙන් එක රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා. මේ රටේ අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ අධිකරණය, නීතිඥයන්, ස්වාමීන් වහන්සේ හා ජනතාවයි. මේකයි තිත්ත ඇත්ත. මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂවලින් 75%ක්ම ඉන්නේ හොරුන්, මං නියෝජනය කරන දේශපාලන පක්ෂයත් එහෙමයි. ජනතා විමුක් පෙරමුණ සුපිරිසුදුයි කිව්වට එහෙම නැහැ. මේ රටේ බැංකු කොල්ලකන්න මුලින්ම පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ දූෂිත සියලුම දේශපාලනඥයන්ගේ ලිපිගොනු මං ගාව තිබෙනවා. මං ඕනෑම විවාදයකට ඔවුන්ට අභියෝග කරනවා යනුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වේගවත්ව ප්‍රකාශ කළේය.

මේ සමඟම නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාය.

දෙපැත්තේම ඉන්නේ හොරුනම් ඔබතුමා මොන ගොඩේද? රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා විමසීමත් සමඟම මැතිසබය තුළ මතුවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මෙහෙම අධිකරණ විනිසුරුවරුන්ට, නීතිඥයන්ට චෝදනා කිරීම වැරැදියි. රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
මං සියලුම දෙනාට චෝදනා කළේ නැහැ. ඇතැම් අධිකරණ විනිසුරුවන් හා ඇතැම් නීතිඥවරුන්ටයි මං චෝදනා කළේ. ඉතා හොඳ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් ඉන්නවා. මං ඔවුන්ට හිසනමා ආචාර කරනවා. රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ගැන සිකුරාදා පැවැත්වීමට තිබුණු විවාදය තවදුරටත් කල්දැමීම ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් සිය විරෝධය පළකරන ලදී.

රීති ප්‍රශ්නයක් මතුකරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා විමසා සිටියේ පරිවර්තන ගැටලුවක් හේතුවෙන් කල්දැමුණු මෙම විවාදය සිකුරාදා පැවැත්වෙනවාද? කියාය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් මෙම පරිවර්තන කටයුතු සිදුකෙරෙන නිසා තව මාසයක කාලයක්වත් ඒ සඳහා යෑමට ඉඩ තිබෙනවා, යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ වාර්තාව ඉංගී්‍රසියෙන් තියෙද්දි මීට පෙර විවාද කළා. මහා පරිමාණ වංචා ගැන වාර්තාවේ සිංහල හෝ දෙමළ පරිවර්තනය නැහැ කියලා තමයි කල්දාලා තියෙන්නේ. එහි පරිවර්තනය එනකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව විවාද කරන්න පුළුවන් නේද? කියා විමල් වීරවංශ මන්ත්‍රිවරයා යෝජනා කළේය.

මේක පක්ෂ නායකයන්ගේ එකඟත්වයෙන් ගනු ලැබූ තීරණයක්. නමුත් ඔබතුමාගේ ඉල්ලීම ගැන මං අවධානය යොමුකරන්නම් යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න යන වේලාවේදී මෙම විවාදය පැවැත්වීම ඉතාම වැදගත්, යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon