රට ජාතියට කළ නැති ලොකුම පින්කම රනිල්ව අගමැති ධුරයෙන් නෙරපා හැරීමයි

  👤  2898 readers have read this article !
By mawbima 2018-03-21

රට ජාතිය වෙනුවෙන් වර්තමානයේ කළ හැකි ලොකුම පින්කම කුමන හෝ ක්‍රමයකින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට තීරණය කළේද ඒ නිසා බව පැවැසූ රණතුංග මහතා රට ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති සියලු මන්ත්‍රිවරුන් එම විශ්වාසභංග යෝජනාව දිනවීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

මන්ත්‍රිවරයා මේ ප්‍රකාශය කළේ මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් පිරිසක් සමඟ උඩුගම්පොළදී පැවැති සාකච්ඡාවකට පෙරේදා (19දා) සහභාගි වෙමිනි. රණතුංග මහතා මෙසේද පැවැසීය.

මේ වෙනකොට අගමැතිවරයාට එරෙහිව අපි ඉදිරිපත් කරන්නට සූදානම් වන විශ්වාසභංග යෝජනාව තීරණාත්මක මංසන්ධියකයට ඇවිත් තිබෙනවා. මේ විශ්වාසභංගය අගමැතිවරයාට පමණක් නෙවෙයි සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ලෙසයි අපි හඳුන්වන්නේ.

මම එහෙම කියන්නේ මේ ආණ්ඩුව බලයට පත්වූදා පටන්ම ජනතාවගේ විශ්වාසභංග වෙලා තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබුණු පාලන බලය මේ ආණ්ඩුවේ සිටින අය විසින් පැහැරගත්තේ බොරු කියලා ජනතාව මුළා කරලයි.

බොරුවෙන් බලයට ආපු ආණ්ඩුවට රට හදන්න කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ වුණේ තමන් මෙහෙයවපු විදේශ බලවේගවලට අවනත වෙලා මහින්ද රාජපක්ෂ පාලනය නිමා කරන්න පමණයි. 2015 ජනවාරි 9 වැනිදා ඔවුන් ඒ අරමුණ ඉෂ්ට කරගත්තා.

නමුත් එතැනින් ඉදිරියට ඔවුන්ට ගමනක් තිබුණේ නැහැ. මේ ගෙවුණු අවුරුදු තුනේම ඔවුන් හැසිරුණේ එදා ජනාධිපතිවරණය ජයගන්නට දායකත්වය දීපු විදේශ බලවේගවලට ඕනෑ විදියටයි. ආණ්ඩුවක් විදියට රට ඉදිරියේ පෙනී හිටියත් පිටුපසින් සිට ආණ්ඩුව මෙහෙයවූයේ ඒ බලවේගයයි.

ඒ බව මේ ආණ්ඩුවේ වසර තුනක වැඩපිළිවෙළ දෙස බැලුවම පැහැදිලි වෙනවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒකට හොඳ උදාහරණයක්. මේක ජනතාව විසින් ඉල්ලපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි. ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය මේ සෑම අතකින්ම රට වළපල්ලට යමින් තිබෙන බව අපිට රහසක් නෙවෙයි.

අන්න ඒ අගාධයෙන් රට ගොඩනඟන්න තමයි ඒකාබද්ධ විපක්ෂයේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ එකතු වෙලා සටන් කරන්නේ. අපේ සටන පටන් ගත්තේ බොහොම සුළුවට. හැබැයි මේ වන විට රටේ බහුතරය ජනතාව අපි සමඟ එකතු වෙලා ඉන්නවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තහවුරු වුණා. අලුතෙන්ම දේශපාලන ලෝකයට ආපු පොහොට්ටුව රටේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කෙළේ අපේ සටන ජනතාව අනුමත කරපු නිසයි.

දැන් අපිට වගකීමක් තිබෙනවා මේ සටන මෙතැනින් ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමේ වගකීමඅපට තිබෙනවා. ඒ ජනවරම තමයි පසුගිය පළාත් පාලන ඡන්දෙදි අපිට ලැබුණේ. ඒ සඳහා තමයි අපි අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සූදානම් කරලා තියෙන්නේ. මම දකින විදියට අද රටේ කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක. ඒ පින්කමට දායක වීමේ වගකීම පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන්ට තිබෙනවා. අද මේ මල් වට්ටියට අත නොගැහුවොත් අනාගත පරපුර අපට සාප කරයි. ඒ නිසා අපි සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය හමුවේ මේ තියෙන වගකීම ඉෂ්ට කරන්න එකතු වෙන්න කියලයි.

මීරිගම - දිනුෂි කේ.එම් ආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon