මහජන නියෝජිතයන් කොන්ත්‍රාත්කරුවන් පසුපස යන්නේ නම් ඉදිරි ඡන්දවලදී ජනතාව ඔවුන්ට නිසි පාඩම් උගන්වයි

  👤  2720 readers have read this article !
By mawbima 2018-03-21

මහජන නියෝජිතයන් මහජන සේවය පසෙකලා කොන්ත්‍රාත්කරුවන් පසුපස යන්නේ නම් ඔවුන්ට ඉදිරි මැතිවරණවලදී ජනතාව නිසි පාඩම් උගන්වනු ඇති බවත් දේශපාලනයෙන් පෝෂණය වීමේ බලාපොරොත්තුවෙන් දේශපාලනයට පැමිණීම නුසුදුසු ක්‍රියාවක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
ඊයේ (20දා) කොළඹ 07, විජේරාම මාවතේ පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ පොදුජන පෙරමුණේ නියෝජිතයන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රාදේශීය සභාවලට තමන්ව තෝරා පත් කර ගත් මහජනතාවට අවංකව ගෞරවාන්විත ලෙස සේවය ලබාදිය යුතු බවත් නියමිත ආකාරයට ජනතාවට සේවය කරන්නේ නම් අනාගතයේදී දේශපාලනයේ බැබළීමට අවස්ථාවක් ලැබෙන බවත් ඔහු පැවැසුවේය.

මාස ගණනක් ඇතුළත නිර්මාණය වූ නව දේශපාලන පක්‍ෂයක් ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන් ලබාගත් මේ ජයග්‍රහණය ඉතාම සුවිශේෂීයි. ඔබත් ඒ ජයග්‍රහණයේ සුවිශේෂී සාමාජිකයෙක්. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ මේ ජයග්‍රහණය අපේ පෞද්ගලික ජයග්‍රහණයක් වශයෙන් නොව රටේ සමස්ත ජනතාව ලැබූ ජයක් වශයෙන් මම සලකනවා. පොදුජන පෙරමුණ ලැබූ ජයත් සමඟම වර්තමාන ආණ්ඩුව එක්තරා ආකාරයකට දෙදරා ගොස් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව තුළ යම් අස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා.

ආණ්ඩුවේ මේ අස්ථාවරත්වය නිසා රට තුළ වෙනත් බලාපොරොත්තු ඇතිවෙමින් තිබෙනවා. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය, මහා මැතිවරණය හා ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් ලබාගැනීමේ උත්සාහයක් අපිට තිබෙනවා. ඔබගේ හැසිරීම හා ක්‍රියා කලාපය තුළ ඒ සියලුම මැතිවරණ ප්‍රතිඵලය තීරණය වෙනවා. මේ ජයග්‍රහණයෙන් උදම් වී ඔබ ජනතා සේවය උපරිමයෙන් සිදුකරනවා නම් ඉදිරි මැතිවරණවල ජයග්‍රහණය අපි කාටත් දැක ගැනීමට හැකියාව ලැබේවි.

අපිට චෝදනා එල්ල වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි අපි විමසා බැලිය යුතුයි. මේ තිබෙන්නේ ඔබට විරුද්ධ ආණ්ඩුවක්. ඒ නිසා ඔබගේ ක්‍රියාකාරකම් දෙස රජයේ ප්‍රධානීන් බලාගෙන ඉන්නවා. පළාත් පාලන නියෝජිතයන් ලෙස ඔබ මෙහිදී පරිස්සම් විය යුතුයි. දේශපාලනයෙන් පෝෂණය වීමේ බලාපොරොත්තුවෙන් දේශපාලනයට එන්න හොඳ නෑ. ඒ නිසා මුලින්ම ඔබ දේශපාලනයේ රටාව හඳුනාගන්න. අපි කොන්ත්‍රාත් පස්සේ ගියොත් ඔබට විතරක් නෙවෙයි එහි ප්‍රතිඵලය අපේ මුළු පක්‍ෂයටම බලපානවා. ඒ නිසා ඔබ කොන්ත්‍රාත්කරුවන්ගේ පස්සෙන් යන්නෙපා. අපි ඔබගේ විනය සම්බන්ධයෙන් ඉතාම තදින් සොයා බලනවා.

ගමේ සිදුවන සිද්ධිවලදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ප්‍රථම මුහුණ දෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට ඒ අනුව ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගකීම හඳුනාගෙන ඔබ වැඩ කරන්න. මහජන හමුවීම්වලට වෙලාවක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබව හමුවීමට අවස්ථාව තිබිය යුතුයි. ඔබව තෝරා ගත්තේ අපි නොවෙයි මහජනතාවයි. ඒ නිසා අවංකව ගෞරවාන්විතව ඔබගේ සේවය මහජනතාවට ලබා දෙන්න. නියමිත ආකාරයෙන් මහජනතාවට සේවය කරනවා නම් ඔබට අනාගතයේදී දේශපාලනයේ බැබළෙන්නට අවස්ථාවක් ලැබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර අනුරාධපුර, පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සභාවලට තේරී පත්වූ මහජන නියෝජිතයන් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ දිවුරුම් දුන් අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්‍ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඉෂාරා සිල්වා, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායාරූප -සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon