ජනතාව ඔබව තෝරාපත් කර ගත්තේ පා පැදියෙන් පැමිණ බෙන්ස් රියෙන් යන්න නොවෙයි

  👤  2661 readers have read this article !
By mawbima 2018-03-21

කොළඹ නගරයේ කැළිකසළ සහ ඩෙංගු ප්‍රශ්නය සාර්ථක විසඳුම් ලබාදීමට පියවර ගැනීම ඔබගේ පළමු රාජකාරිය කොට ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ නවක මන්ත්‍රිවරුන්ට උපදෙස් දෙයි.

ජනතාව ඔබව තෝරාපත් කරගෙන තිබෙන්නේ බයිසිකලයෙන් පැමිණ බෙන්ස් කාරයෙන් යන මන්ත්‍රිවරයකු බවට පත්වීමට නොව ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සේවය ඉටුකිරීමට යැයිද අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව වන බැවින් ඔවුන්ගේ යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ඔබගේ වගකීමක් වන බවද හෙතෙම පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවැසුවේ පෙරේදා (19දා) දින අරලියගහ මැඳුරේදී පැවැති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ උත්සවය ආමන්ත්‍රණය කරමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට එ.ජා. පක්ෂය විසින්වි ශිෂ්ට ජයක් අත්පත් කරගනු ලැබීය. ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ මහ නගර සභාවට පුරපතිනියක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝසි සේනානායක මහත්මිය තේරී පත්විය. රෝසි සේනානායක මහත්මිය ඇතුළු කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 60ක් මේ අවස්ථාවේදී එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ කිරින්දේ අස්සජි හිමියන් ඇතුළුව සෙසු ආගමික නායකයන් විසින් නවක මන්ත්‍රිවරුන් හට ආශීර්වාදය කරනු ලැබූ අතර එහිදී සේදවත්ත පුරාණ විහාරාධිපති එ.ජා. පක්ෂ භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වෙල ඥානාලෝක ස්වාමින් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක්ද සිදුකරනු ලැබූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අද ප්‍රථම වතාවට කොළඹ නගර සභාව වෙනුවෙන් කාන්තා පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය අද දිවුරුම් දුන්නා. මෙතෙක් ශ්‍රී ලංකාවේ කාන්තා පුරපතිනියක් බිහි වී නැහැ. එය ශ්‍රී ලංකාවේ වාර්තාවක් ලෙසත් හැඳින්විය හැකියි.

එතුමියත්, නියෝජ්‍ය නගරාධිපතිතුමාත් අනෙක් මන්ත්‍රිවරුනුත් අද දිවුරුම් දුන්නා.

ඔබ සැම මේ කොළඹ නගරය දියුණු කරනවා දැකීම මගේ අරමුණයි. එය අපේ යුතුකමක් ලෙස සලකා ක්‍රියා කළ යුතුයි. පසුගිය මැතිවරණයේදී අපි අපේ වසර 10ක සැලැස්ම ඉදිරිපත් කළා. දැන් එය ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අවධානය යොමු කරන අතරම අපි කොළඹ නගරයේ ජනතාවගේ ගැටලුද විසඳිය යුතුයි.

කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාවයි. එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතුයි. ඔබ මනාපයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරුන් නෙවෙයි. ඔබ ඔබේ කොට්ඨාසය නියෝජනය කිරීමට තෝරා ගත් මන්ත්‍රිවරයායි. එම නිසා ගෙයින් ගෙට ගොස් එම ජනතාව මුණගැසෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඔබේ සේවය ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මහජනතාව වෙනුවෙන් මේ නගර හා ප්‍රදේශ දියුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හැමදාම කැප වී ක්‍රියා කළා. ඒ වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් ජනතාව බලාපොරොත්තු වන සේවය ඉටුකරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව බලාපොරොත්තු වන ඒ සේවය ඉටු කිරීම සඳහා මධ්‍යම රජයේ සම්පත් යොදවනවා. ඒ සමඟම මෙහි තිබෙන ප්‍රශ්න පිළිබඳවත් අප දැනුවත් වී සිටිනවා. කොළඹ නගරයට ඩෙංගු ගැටලුව තිබෙනවා. ඒ වගේම කොළඹ නගරයේ කැළිකසළ ඉවත් කිරීම පිළිබඳවත් අපි අද සාකච්ඡා කළා. ජනතාවගේ එදිනෙදා ගැටලු අපි සාර්ථකව විසඳිය යුතුයි. ඒ වගේම අපි ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුයි. දැනට පවතිනවාට වඩා හොඳ ජීවන රටාවක් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ කොළඹ නගර වැසියන්ට ලබාදෙන්න යැයි මම අවසාන වශයෙන් ඔබට ප්‍රකාශ කරනවා.

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වෙල ඥානාලෝක හිමි කොළඹ මහ නගර සභාවෙන් රටේ දේශපාලන නායකයන් බොහෝ පිරිසක් බිහි වුණා. ඒ නිසා මේ තැනට අද පත්වී සිටින මේ නවක මන්ත්‍රිවරුන්ට මා කියා සිටිනවා ඉතා ඉවසිලිවන්තව, බුද්ධිමත්ව මේ ගමන යන්න කියලා. දේශපාලනය කරද්දී ඉවසීම තිබිය යුතුයි. එය නැත්නම් ඉදිරියට යන්න බෑ.

එජාපයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිහා බලලා ඔබගේ දේශපාලන ජීවිතය සකස් කරගන්න.

කොළඹ මහ නගර සභාවේ පුරපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝසි සේනානායක මහත්මිය,

මේ මැතිවරණයේදී ලබාදුන් දස අවුරුදු සැලැස්ම වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. මහ නගර සභා සීමාව තුළ සිටිය සමස්ත ජනතාවට සේවයක් ලබාදෙන බව අපි ප්‍රතිඥා දෙනවා. අපි දේශපාලනඥයන් ලෙස තේරී පත්ව සිටින්නේ අප වෙනුවෙන් විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාව නිසයි. අපි ඒ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කරයි කියා බලාපොරොත්තුවෙන් ඒ අය පෙබරවාරි 10 වැනි දින අපට ඡන්දය ලබාදුන්නා. ඒ නිසා අපි එක පවුලක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැපවෙමු කියලා මම සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ නගර සභාව කාර්යක්ෂම

නගර සභාවක්. කොළඹ නගරය සුහුරු නගරයක් බව පත්කිරීමට ඇතුළුව ලබාදුන් සියලුම පොරොන්දු ඉටු කිරීමට අපි වගබලා ගත යුතුයි.

අවුරුදු 25ක්ම මේ නගර සභාව දිව්වේ මධ්‍යම රජයේ බලයක් නොමැතිවයි. මෙවර අපි නගර සභාවට තේරී පත් වූයේ එ.ජා. පක්ෂ ආණ්ඩු බලයක් යටතේයි. ඒ නිසා කොළඹ නගර සභාවට විශාල කාර්යභාරයක් ඉටුකරගැනීමට අපිට හැකියාව තිබෙනවා. ඒ වාගේම මා ඇතුළුව කොළඹ නගර සභාවට විශිෂ්ට ජයක් ලබාගැනීමට උපකාර කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon