තරගකාරි වෙළෙඳපොළ අපේ දරුවන් සොබාදහමට එරෙහි ප්‍රචණ්ඩ ජීවීන් බවට පත් කරලා මානව විද්‍යාඥ සුනිල් රණසිංහ

  👤  2642 readers have read this article !
By mawbima 2018-03-21

දවසක් පැන්සලක් තම වැරැදි මකමින් සිටි මකනයකට ''මට සමාවෙන්න යැයි'' කීවේය.

එවිට මකනය 'ඒ කුමටදැයි' විමසුවේය.

''මට සමාවෙන්න. ඔබ මා නිසා වෙහෙසට පත්වෙනවා. මා වැරැදි කරන හැම මොහොතකම ඔබ එය මකා දමා එම වරද අතුරුදන් කරනවා. එමඟින් ඔබ ඔබේ ශරීරයේ කොටසක් අහිමි කර ගෙන මොහොතින් මොහොත කුඩා වෙනවා''යැයි පැන්සල කීය.

''ඇත්ත, නමුත් මා එය කරදරයක් ලෙස සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාව සාදා තිබෙන්නේ ඔබ වරදක් කළොත් එය නිවැරැදි කිරීමට. දිනෙක මා අවසන් වන වග මා දන්නවා. ඇත්තෙන්ම මම මගේ රාජකාරිය ගැන සතුටු වෙනවා. කරුණාකර ඒ නිසා කනගාටුවෙන්න එපා. ඔබ දුකෙන් සිටිනවා දකින විට මට සතුටු වෙන්න බෑ. ජීවිතය කියන්නේ කලාවක් මකනය කියා සිටියේය.

ජීවිතය සුන්දරයි. විචිත්‍රයි. ජීවිතය කලාවක්, සාමූහික පැවැත්ම ජීවිතයයි. ජීවිතය වින්දනය කිරීම උපතේ සිට මරණය දක්වා ප්‍රගුණ කළ යුතු කලාවකි. එහෙයින් ජීවත්වීම කලාවකි. අප සියලුදෙනා නොපැවැත්මේ සිට පැවැත්ම දක්වා කරන්නා වූ අරගලය එම කලාව වටහා ගැනීමට දරන්නා වූ සාමූහික ප්‍රයත්නයයි. එහි ඵලදායකත්වය සංස්කෘතියයි. පැවැත්ම ශිෂ්ටාචාරයයි. පෘථිවිය මත හැම දෙයකටම අරමුණක් ඇත. සෑම ජීවියකුටම මෙහෙවරක් ඇත. ඒ ක්‍රියාදාමයේදී කිසිවකු උසස් හෝ පහත් නොවෙයි.

සොබාදහම තුළ බිම් පණුවාට මෙන්ම මානවයාටද නිශ්චිත මෙහෙවරක් හිමිවෙයි. හැම කෙනෙක්ම එක සමානයි. එය පැවැත්ම පිළිබඳව සොබාදහමේ න්‍යායයි.
බිම් පණුවා පස පෙරළා බිම සාරවත් කරයි. උෟරා බිම හාරයි. වවුලා, කුරුල්ලෝ, සුළඟ හොඳම බීජ තෝරා ගෙන පෘථිවිය මත විසුරවති. මහපොළොව ඒවා ආදරයෙන් වැලඳගෙන වැඩෙන්නට පරිසරය සකස් කරයි. මානවයාට වඩා වවුලා හොඳ ගොවියෙකි. සමනලයා, මීමැස්සා කුඩා තණකොළ පැළෑටියේ සිට යෝධ රතු ඕක් ගස් දක්වා පරාග සංයෝග කරයි. වර්ෂාව නැවුම් උත්පත්තියක් අරගෙන මහපොළොවට පතිත වෙයි. ඇළ ‍ෙදාළ ගංගා ප්‍රවාහයක් මෙන් මහපොළොව නැවත සකස් කර සරුසාර කරයි. මේ නිසා මෙය වටහා ගත යුතුයි.

ජීවිතය දුකක් නොවෙයි. අපේ පැවැත්ම සකස් කරන්නේ අප කිසි දිනෙක නොදුටු අද්භූත බලවේග නොවෙයි. මවගේ ගර්භාශයේ සිට සොහොන් බිම දක්වා අපේ පැවැත්ම ර¼දා පවතින්නේ සොබාදහම සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා අන්තර් සහසබඳතාව මතයි. සරලකම නැති තැන පැවැත්මක් නොමැත. ජීවිතය සමනල පියාපත් මෙන් සැහැල්ලුයි. විචිත්‍රයි, විවිධයි. ඒත් සමාගම් පරිභෝජන මතවාදය ඉස්මතුවී කෑදරකම, තරගය, බල දේශපාලනය මිනිසාගේ හිස තුළ අර්බුදයක් නිර්මාණය කරයි. ජීවිතය සංකීර්ණ කරයි. සාමූහික පැවැත්ම අවුල් වියවුල් කරයි. මහපොළොව මත හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. කිසිවකුට හුදෙකලාව පැවැතිය නොහැකිය. කවුරු හෝ උස් තාප්ප පවුරු බැඳගෙන වෙන් වෙන්න උත්සාහයක යෙදෙන්නේ නම් එය මායාවකි. හුදෙකලා වීම මානසික ව්‍යාධියකි.

නූතන මිනිසා තමා වහලකු බව නොදන්නා වහලෙකි. පරපෝෂිතයෙකි. සමාගම් ලාභය සඳහා හැඩගැසූ මිලක් සහිත පරිභෝජන භාණ්ඩයකි. වෙළෙඳපොළ වුවමනා නිසා ජීවිතයම වල්මත් කරගත් හෙතෙම සුව පහසුව සොබාදහම කොල්ලකෑමෙන් හා එයට අභියෝග කිරීමෙන් ජීවිතය සොයා යෑමට වෙහෙසෙයි. මානව වාසස්ථාන අනවශ්‍ය භාණ්ඩවලින් පිරී ඇත. ඉවතලන කැළි කසළ මහපොළොවට ජීරණය කර ගැනීමට අපහසුයි. තරගය හා කෑදරකම නිසා මිනිසා බහු භාණ්ඩිකයෙක් වූවේය. ඔහුට අවශ්‍යතාව තෝරා ගැනීමේ විචාර බුද්ධියක් නොමැත. හෙතෙම ඉතා ඉක්මනින් විනාශය සඳහා පොලඹවා ගත හැකිය. හෙතෙම මුදල් ගෙවා රෝග ව්‍යාධි ආපදා ළඟා කරගන්නා මුග්ධයෙකි. ඉන්ද්‍රජාලිකයන්ට මායාකරුවන්ට රැවටෙන අන්ධ අනුකාරකයෙකි.

වෙළෙඳ සමාගම් විසින් තම උපරිම ලාභ අපේක්‍ෂාව සඳහා නිපදවන භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිරතුරුව පාරිභෝගිකයා ලුහුබඳියි. පොදු ජනයා ගමන් කරන මංමාවත්, වැඩකරන ස්ථාන, සෑම තැනකම සියලු ඉන්ද්‍රියයන් රවටමින් බහු භාණ්ඩ පිරී ඉතිරී ඇත. සමාගම් විසින් නිපදවන අතිරික්ත භාණ්ඩ ප්‍රථමයෙන් සුපිරි වෙළෙඳසල්වල අලංකාර කුටිවලද, දෙවනුව නගරයේ මෙන්ම ගම් දනව්වල පදික වේදිකාවේද, අවසානයේ වෙළෙඳ තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් නිවෙස් තුළටද ගලා එයි.
දෙකක් මිලදී ගත් විට එකක් නොමිලයේ ලැබෙයි. ඒ සමාගම්වල පරිත්‍යාගශීලීත්වය හෝ දානමය පුණ්‍යකර්මයක් නොවෙයි. දෙකක් මිලදී ගත්විට තවත් එකක් නොමිලයේ බෙදා දීමට තරම් අතිරික්ත භාණ්ඩ ප්‍රමාණයක් වෙළෙඳපොළ මත ගොඩගැසී තිබීම සත්‍ය හේතුවයි.

තෝරා ගැනීමක් නැති පාරිභෝගිකයා කිසිදු විචාරයකින් තොරව ඵල රහිතව භාණ්ඩ තුනක් ගෙදර ගෙන යයි. ඉන් තමාට ඇති ප්‍රයෝජනය කුමක්දැයි වටහා ගැනීමට තරම් ඔහුට හෝ ඇයට හැකියාවක් නොමැත. ඒ කෑදර පරිභෝජන රටාව විසින් ඔහුගේ මනස විකෘති කර ඇති හෙයිනි. එලෙස මිලදී ගත් හා නොමිලයේ ලැබුණු භාණ්ඩ නිවෙස්වල මුළුතැන්ගෙය හෝ ආලින්දයේ ගොඩ ගසා ඇත්තේ සමාජයේ හිස් හා හරසුන් බව මනාව ප්‍රදර්ශනය කරමිනි.

අනෙක් අතින් තෝරා ගැනීමක් නැති සමාජයක එකකු අභිභවා තවෙකකු ඉස්මතුවීමේ තරගකාරීත්වය සෑම අයකුම දිනපතා පිළිපදින ශික්‍ෂා පදයක් සේ මනසේ මුල් බැස ඇත. අවශ්‍යතාවට වඩා තරගකාරීත්වය විසින් අනෙකාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ චේතනාව මෝදු කර ඇත. සැබැවින්ම අනවශ්‍ය අවශ්‍යතා ඇති කිරීම සඳහා මානව මනසේ දුර්වලතාව ඉතා වැදගත්ය. සමාගම් එම දුර්වලතාව ඉතා හොඳින් තේරුම් ගෙන භාණ්ඩවලට ආදරය කිරීමට මිනිසා පොලඹවයි.

'හැඩකාර', 'පැඟිරි' 'පොපියන' වැනි වදන් නිතර දිසි රූප මඟින් මනස මත තැන්පත් කොට ලිංගිකත්වය ඉස්මතු කරමින් සෑම අයකු තුළම කෘත්‍රිම ආශාවන් ගොඩනඟයි. සම පැහැපත් කිරීම, සුදු කෙස් කළු කිරීම, මුහුණ මත කෘත්‍රිම ආලේපන තැවැරීම, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින් වැඩි වාර ගණනක් දත් මැදීම, කිරිපිටි බීමෙන් ළමා මනස වර්ධනය වීම, අස්ථි ශක්තිමත් වීම වැනි හරසුන් ප්‍රචාරණයන්ට තෝරා ගැනීමේ නිදහස නොමැති සමාජය රැවටෙයි. ඒවායින් ශරීරයට ප්‍රවේශ වන විස රසායන හා ඒවායේ ප්‍රතික්‍රියා ගැන දැනුමක් නොමැති සමාජයක පුහු වීරයෝ සියල්ල තෝරාදීමට සැදී පැහැදී සිටී.

විවිධ වෘත්තිකයන් ලෙස පෙනී සිටින ව්‍යාජ බුද්ධිමත්තු, බොළඳ නළු නිළියෝ, ජීවිතයම සූදුවක් කර ගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් කිසි දිනෙක පරිහරණය නොකරන භාණ්ඩ පිළිබඳ සහතික ලබා දෙති. ඒ සමාජය ගැන අනුකම්පාවෙන් නොව ඒ වෙනුවෙන් තමන් වෙත ලැබෙන මූල්‍යමය කොන්ත්‍රාත්තු මත ස්වයංලාභය උදෙසාය. සමාගම් භාණ්ඩ අලෙවියේ පුරෝගාමීන් වූ හා වෙළෙඳපොළ නියෝජිතයන් වූ මාධ්‍යය මහ දානපතියකු සේ මුදල් මවමින් හා බෙදාහරිමින්, සිය වංචනික උපාය මාර්ගය වූ ප්‍රචාරණය මඟින් මානවයා තුළ කෑදර ආශාවන් ජනිත කරයි. වෙළෙඳපොළ යාන්ත්‍රණයේ හවුල්කරුවන් වූ බැංකු හා මූල්‍යායතන ණය කාඩ්පතක් අතට දී වෙළෙඳපොළ වුවමනා හා සිහින ළඟා කර ගැනීම සඳහා සමාජය තුළ ජීවිතාන්තය දක්වා සිරගත වූ ප්‍රාණ ඇපකරුවකු බඳු ණයකරුවකු නිර්මාණය කරයි.

මේ සියල්ල සිදු වන්නේ ඉතා සැලසුම්සහගත 'කොල්ලකාරී පරිභෝජන මතවාදය' සෑම මනසකම රෝපණය කිරීමෙනි.

රසකාරක මුසු අහරින් කය අධිපෝෂණ වූ එහෙත් මනස මන්දපෝෂණයෙන් පෙළෙන රෝගී සමාජයක අපට අවශ්‍ය සියලු දෑ තෝරාදීම සඳහා බුද්ධිමත් ලෙස පෙළ ගැසුණු ව්‍යාජ ප¾ඩිවරු බොහෝය. මිනිසාගේද පතුල සිට හිස දක්වා සියලු බාහිර හා අභ්‍යන්තර අංගෝපාංග හැඩගැස්වීම හා පරිභෝජන මතවාදයට ගැළපෙන සේ හීලෑ කොට වෙළෙඳපොළ මත දිගේලි කිරීම කූට බුද්ධිමතුන්ගේ හා වෙළෙඳපොළ නියෝජිතයන්ගේ කාර්යභාරයයි.

ඒ සඳහා ඔවුහු දහසින් බැඳි පියලි, ගෞරව සත්කාර සම්මානයෙන් පිදුම් ලබති. එමෙන්ම ඔවුන් සමාජය මෙහෙයවන වීරයාගේ භූමිකාව සඳහා තමන් සේවා දායකත්වය සපයන කූට වෙළෙඳ සමාගම් විසින්ම තෝරා පත් කර ගනු ලැබේ.

''තෝරා ගැනීමේ නිදහස'' අහිමි කළ අනුගාමිකයා හා අනුකාරකයා ඒ ඒ වෙළෙඳ සමාගම් දවටන හා සන්නම්වලින් සැරසුණු වෙළෙඳ නියෝජිතයෝ මහත් හරසරින් දණ්ඩ නමස්කාර කොට පිළිගෙන ඔවුන්ගේ ව්‍යාජ රංගනය දෙස දෑස් නොපියවා විස්මයෙන් බලා සිටිති. සැබැවින්ම මේ ව්‍යාජ ප¾ඩිවරු හා සමාගම් වීරයෝ වෙළෙඳපොළ මිලක් සහිත, සමාගම් විසින් තම ප්‍රචාරණ වට්ටෝරු අනුව පදම්කොට, සංවේදී හා සහකම්පන මනස මුළුමනින්ම ඉවත් කළ පරිභෝජන භාණ්ඩ, කෘත්‍රිම රූකඩවන් මේ කූට වීරයෝ තම තම නැණ පමණින් සමස්ත සමාජයේ 'තෝරා ගැනීමේ නිදහස' සීමාකොට වනසා දැමීම සඳහා සෑම තැනකම ප්‍රතිලාභ වෙනුවෙන් විවිධ වේශයෙන් පෙනී සිටිති.
''දරුවා තරුණ අවදියේම අල්ලාගන්න'' (ඛ්චබජඩ බඩඥථ රධභදඨ) කොල්ලකාරී වෙළෙඳපොළ යාන්ත්‍රණයේ උද්ධෘත පාඨයයි. ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණයේ පූර්ණ අවධානය කුඩා දරුවන් හා තරුණ පරපුර වෙත යොමුව ඇත. එහෙයින් මාධ්‍ය සමාගම් ගෝලීය ක්‍රීඩකයන් හා නළුවන් ලෙස ඉස්මතු වෙමින් තාරුණ්‍යය තම මතවාදය තුළට ආකර්ෂණීයව ඇද ගැනීම සඳහා දඟකාර හා හැඩකාර තරග ඉසව් නිර්මාණය කර නව අවස්ථා හා අපේක්‍ෂා ජනනය කරයි. ලොව පුරා මාධ්‍ය සමාගම් එහි අනුකාරකයන් ලෙස පරිභෝජන මතවාදය ප්‍රවර්ධනය කොට තාරුණ්‍යය තරගකාරීත්වයට කැඳවයි.

පෙරපාසලේ සිට දරුවා පරිභෝජන භාණ්ඩයක් ලෙස හැඩ ගස්වයි. දරුවාගේ ළමා කාලය තරගකාරී අධ්‍යාපන වෙළෙඳපොළ විසින් හොරකම් කර දරුවා වයසට වඩා මෝදු වුණු සොබාදහමට එරෙහි ප්‍රචණ්ඩ ජීවියකු ලෙස පරිවර්තනය කරයි.

සොබාදහම මානවයා ශීලාචාර කරන්නට අවස්ථා කිහිපයක් උත්සාහ කළේය. මුලින්ම යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගාධාරයේදී මෙසපොතේමියාවේදී, පසුව බැබිලෝනියාවේදී, නැවත නයිල් ගංගාධාරයේ, සින්දු ගංගා නිම්නයේ මොහෙන්දෝජාරෝව හා හරප්පාවේදී, ඇමසන් නදිය යාබද මායා, ඉන්කා දේශයේදී, හොවැන්හෝ ගංගාධාරයේදී, හැම උත්සාහයක්ම බල දේශපාලනය, මුදලට, භූමියට ඇති කෑදරකම නිසා ව්‍යර්ථ වූයේය. මිනිසා තවම ශිෂ්ටයෙක් නොවෙයි. ඔහු ප්‍රචණ්ඩ සත්ත්වයෙකි. අලුත් මෙවලම් පරිහරණය කළාට තාම ඔළුව ම්ලේච්ඡ යුගයේය.
සුන්දරත්වය විඳින්න පුළුවන් අපි සොබාදහමේ කොටසක් වුණොත් පමණයි. මහ පොළොව අපේ පරවේණි උරුමයක් හෝ පෞද්ගලික දේපළවල කොටසක් නොවෙයි. අපි මහපොළොවේම කොටසකි.

සමනලයා බිහි වෙන්නේ අවස්ථා හතරකදී බව නොදන්න දරුවා, සැ¼දෑ අහසේ පාට පාට වලාකුළු පෙළගැස්ම නොදකින දරුවා, වායු ගෝලයේ ජල වාෂ්ප මත හිරුඑළිය ඇඳි දේදුන්න නොදකින දරුවා, හිමිදිරියේ විහඟ ගී හා වස්සානයේ ගෙම්බන්ගේ තර්ක විතර්ක නොඅසන දරුවා, සැ¼දෑ අහසෙ වවුලු, කුරුලු රටා නොදකින දරුවා, පූර්ණ හඳ නොදකින දරුවා, සමනලයකු බත්කූරකු පසුව හඹා නොගිය දරුවා, මඩවළක දඟලන්නේ නැති දරුවා සොබාදහමේ දරුවකු නොවෙයි.

නූතන මිනිසා හුදෙකලා සත්ත්වයෙකි. තමන්ම හදාගත් සිරමැදිරියක ප්‍රාණ ඇපකරුවෙකි. සමාගම් වහලෙකි. මඳ පවනට, සමනලයකුට, කුඩා ප්‍රාණියකුට එහා මෙහා යන්න බැරි අයුරින් වැටකඩොලු බැඳගෙන පැවැත්ම සඳහා අනෙකා සමඟ මාරාන්තික තරගයක පැටලී සිටින්නෙකි. මානව සමාජයම බංකොලොත්. දවසින් දවස ශිෂ්ටාචාරය බිඳ වැටෙයි.
විශ්වය ඇවිදින පාසලකි. බකමූණාගෙන් නිහඬතාව, නරියාගෙන් උපායශීලීත්වය, කවුඩාගෙන් ධෛර්යය, කූඹියාගෙන් එකමුතුකම, උකුස්සාගෙන් විචාරශීලීත්වය, ගේ කුරුල්ලාගෙන් ආදරය, ඉදිබුවාගෙන් අනෙකා සමඟ තරග නොකිරීම, ඩොල්පින් මත්ස්‍යයාගෙන් දිගුකාලීන මතකය අප ඉගෙන ගත යුතුයි.

මානවයා තුළ සංවේදිතාව හා සහකම්පනය හට ගන්නේ අනෙකා සමඟ ජීවිතය බෙදා ගැනීමෙනි. විවිධත්වය, සමානාත්මතාව හා අභිමානය සංස්කෘතියේ හදගැස්මයි. මානවයා විකෘතිව බෙදී යෑමෙන් සොබාදහමේ පැවැත්ම බිඳී යයි. සංහිඳියාව අතුරුදන් වෙයි. විවිධත්වය සමානාත්මතාව හා සහසබඳතාව ගිලිහී යයි. ඒ මඟින් ප්‍රචණ්ඩත්වය බිහිව ව්‍යසනය පැතිර යයි. මානව සමාජය ශිෂ්ටත්වයේ සිට ම්ලේච්ඡත්වයට ඇද වැටෙයි. කෘෘරත්වය හා කෑදරකම ම්ලේච්ඡත්වයේ සංකේතයකි. ශාක සහ සත්ත්ව ජීවීන් අපේ සහෝදරයෝය. ගංගා ඇළ ‍ෙදාළ මත දිදුලන දියවර සහෝදරත්වයේ හා අභිමානයේ පාරිශුද්ධත්වයයි. එය මනුෂ්‍යත්වයේ හෘදය සාක්‍ෂිගත අවබෝධයයි. මහපොළොව මත සරුසාර නැවුම් ජීවය හා සංහිඳියාව හෘදය සාක්‍ෂියේ පොදු අස්වැන්නයි.

(ජාතික සාහිත්‍ය උළෙල නිමිත්තෙන් කළ දේශනය ඇසුරෙනි)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon