අදට යෙදෙන පොලිස් විරු අනුස්මරණ දිනය නිමිත්තෙනි වසර 154ක අනවරත ගමන......

  👤  2655 readers have read this article !
By mawbima 2018-03-21

ලක්වාසී ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කරමින් වීර වික්‍රමාන්විතව වසර 154ක් මුළුල්ලෙහි මියගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය අදට යෙදී ඇත.

වර්ෂ 1864 මාර්තු මස 21 වැනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ උතුවන්කන්ද ප්‍රදේශයේදී දීකිරි කෑවගේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සරදියෙල්ගේ සගයකු වූ මම්මලේ මරික්කාර් විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ලක්ව පොලිස් කොස්තාපල් සභාන් මිය යෑමේ සිදුවීම මුල්කර ගනිමින් සෑම වර්ෂයකම මාර්තු 21 වැනි දිනය පොලිස් විරු දිනය ලෙස නම් කර ඇත.

වර්ෂ 1796දී පොලිස් කොස්තාපල්වරුන් 28 දෙනකුගෙන් සමන්විතව ආරම්භ වූ පොලිස් සේවාව වර්ෂ 1833දී පොලිස් අධිකාරි ඔස්ටින් මහතාගේ ප්‍රධානත්වයෙන්ද, වර්ෂ 1863දී පොලිස් අධිකාරි රොබින්සන් කැම්බල් මහතාගේ ප්‍රධානත්වයෙන්ද ක්‍රියාත්මක විය. වර්ෂ 1865 අංක 16 දරණ ආඥා පනත පැනවීමෙන් පසුව වර්ෂ 1866 සැප්තැම්බර් මස 3 වැනි දින ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතා ප්‍රථම පොලිස්පතිවරයා ලෙස පත්ව නිලධාරීන් 585 දෙනකුගෙන් සමන්විතව පොලිස් බළකාය ස්ථාපිත කළ බව පොලිස් ඉතිහාසයේ සඳහන් වේ.

පොලිස් බළකාය නිශ්චිත ලෙසම නෛතික බලයක් සහිතව ස්ථාපිතවීමටද, වසර දෙකකට පෙරාතුව පොලිස් කොස්තාපල් සභාන් නිලධාරියා නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ පරම චේතනාවෙන් යුතුව ලක් දෙරණ වෙනුවෙන් සිය ප්‍රාණ වායුව හිස් වාතලයට මුසු කර ඇත. එතැන් සිට ගත වූ වසර 154ක් පුරාවට ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට සිය ප්‍රාණයද, ඇස්, හිස්, මස්, ලේ, අත්, පා දන්දුන් පොලිස් විරුවන් සිහිපත් කිරීම පොලිස් රණවිරු දිනයේ පරමාර්ථයයි.

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, සුරක්ෂිතභාවය, අපරාධ වැළැක්වීම, රථවාහන පාලනය, නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇප කැපවීම පොලිස් නිලධාරියාගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට පමණක් නොව ඇතැම් විට තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා විරල නොවේ.

එදා මෙදාතුර දිවි දුන් සියලු නිලධරයන් ඔවුන්ගේ පෙර දවස පූජා කර ඇත්තේ අපගේ අද දවස උදෙසාය. මාතෘභූමියේ අනාගත පරපුර උදෙසාය. අප අද භුක්ති විඳින නිදහස ඔවුන් අප වෙනුවෙන් දිවි පුදා දායාද කළ නිදහස බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය.

මහජන සේවය වෙනුවෙන් ජීවිතය කැප කළ පොලිස් නිලධරයන්ගෙන් සිදුවන සේවය කිසිවිටෙකත් ලඝු කොට සැලකිය නොහැකිය. තම දරුවන් පාසල වෙත රැගෙන යන්නට වෙනත් අයකු වෙත පවරා ඔබේ දරුවා පාර මාරුවන තෙක් මහා මාර්ගයේ බලා සිටින්නේ වෘත්තියට පමණක් සීමාවී නොවේ. අව්, වැසි, පිනි, රාත්‍රිය, දහවල වෙනසක් නොවී අවුරුද්ද, පෝය, විනෝදය නොසලකා ඔබට ඒ සියල්ල භුක්ති විඳීමට ඉඩ හසර දී පොලිස් නිලධරයා රැකවලෙහි සිටී. පොලිස් නිලධාරින් සෑම විටෙකම අපරාධ මර්දනයට මෙන්ම රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟීමට කැප වී කටයුතු කරන අතර රටේ විවිධ අවස්ථාවල අපරාධකරුවන් ලුහුබැඳීමේදී මෙන්ම සාමය සුරක්ෂිත කිරීමට යෑමේදී සාහසික ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබීම් හා ඝාතනය වීම්ද, වාර්තා වී ඇති වාර අනන්තය අප්‍රමාණය. ආසන්නතම එවැනි සිදුවීම කීපයක්ද වාර්තා වී ඇත.

යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් සැරයන් සරත් පේමචන්ද්‍ර (24330) මහතා 2017.07.21 වන දින සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයෑම, (ඔහුගේ බිරිය හිටපු පොලිස් කොස්තාපල්වරියක් වන අතර ඇය නැවත සේවයේ පිහිටුවා ඇත.) මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිළියන්දල ප්‍රදේශයට ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරි කණ්ඩායමක් රැඳී සිටි කාර් රථයක් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පොලිස් පරීක්ෂකවරයකු බරපතළ තුවාල ලැබූ අතර පොලිස් කොස්තාපල් චමින්ද අබේවික්‍රම (49446) නිලධාරියා ජීවිතක්ෂයට පත්වීම, මොනරාගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගි වූ පොලිස් පොලිස් සැරයන් ප්‍රසන්න විජේබණ්ඩාර ගොඩගම (5355) නිලධාරියා අපරාධකරුවකු විසින් අටවන ලද ගිනි අවියක් පත්තුවී 2018.03.07 වැනි දින ජීවිතක්ෂයට පත්වීම වැනි සිදුවීම් දක්වාම පමණක් නොව හෙට දවසේ දීත්, මෙරට ප්‍රජාවට අපරාධ බියකින් තොරව සාමකාමී රටක ජීවත්වීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනු ඇත.

අදට යෙදෙන පොලිස් විරු දිනයේදී වසර 154ක් පුරා ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය වෙනුවෙන් දිවි පිදූ සියලු නිලධරයන් අනුස්මරණය කෙරෙන ප්‍රධාන උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස් විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් රණවිරු ස්මාරකය අබියස දී පෙරවරු 8.00ට ගාම්භීර අයුරින් සිදුකෙරේ.

මෙම උත්සවයට සමගාමීව දිවයිනේ පිහිටි සියලු පොලිස් කොට්ඨාසවලදීද, උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් හා පොලිස් විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

තම ජීවිත කැප කරමින් පොලිස් නිලධාරීන් සිදු කළ මාහැඟි සේවය අගයමින් ශ්‍රී ලංකා පොලිසිය සියලු යුතුකම් වර්තමානයේදීත්, අනාගතයේදීත් ඉතා වගකීමකින් සිදු කිරීමත් ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් අවශ්‍ය සේවාවන් සියලුම පොලිස් ස්ථානවලින් හා පොලිස් කාර්යාලවලින් නොපිරිහෙළා ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නිරතුරුවම කැපවී සිටී.

එමෙන්ම පොලිස් රණවිරු පවුල් වෙනුවෙන් සුබසාධන කටයුතු රාශියක් දැනට සිදුකරමින් පවතින අතර වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.
දයාබර විරුවාණෙනි, ඔබේ හඬ අප සවනේ නොවැකුණද, ඔබේ රුව අප නෙතු මානයේ නොගැටුණද, නැඟෙනහිර වෙරළ තීරයෙන් හිරු අවදිවන විටද බටහිර අහස් කුස ස්වර්ණ වර්ණ වී හිරු බැසයන විටද, ඔබ නිරතුරුව අප හදවතේ ලැඟුම් ගෙන සිටී. ඔබේ රුධිරයෙන් පෝෂණය ලද මේ ලක් දෙරණේ සුරක්ෂාව උදෙසා ඔබ දුටු සිහිනය සැබෑ කරනු පිණිස අප දිවියද, ඇප කැප කරන බවට සපථ වන්නෙමු. අපි ඔබව සදා නිරතුරුව අනුස්මරණය කරන්නෙමු.

නීතිඥ රුවන් ගුණසේකර
පොලිස් අධිකාරි
අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය කොට්ඨාසය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon