මුහුදට ප්ලාස්ටික් දමන රටවල් අතරින් 5 වැනි තැන ශ්‍රී ලංකාවයි

  👤  3532 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (31).jpg (600×350)

වංචාවල - රුවන් නානායක්කාර

මුළු ලෝකයම ප්ලාස්ටික් වසංගතයට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිපුරම බැහැරකරන රටවල් අතරින් 5 වැනි ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පැවැසීය.
වසර දහයක් පහළොවක් ගතවන විට මහා සාගරයම තවත් බේරේ වැවක් මෙන් කැළිකසළවලින් ගහන ජලාශයක් සේ දිස්වනු ඇතැයි පොලිතින් තහනම් කිරීමට ජනාධිපති ගත් තීරණයට සහාය වෙමින් සියලු ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කිරීමේදී ධීවර වරායන් හිදී පරීක්ෂාවට ලක් කරන්නැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කිවේය.

අප රටේ ධීවර යාත්‍රා 65,000ක් පමණ තිබෙන අතර ඉන් දිනකට ප්ලාස්ටික් ටොන් 6කට ආසන්න ප්‍රමාණයක් සාගරයට බැහැර කරනු ලබයි. මේ නිසා සාගරය විශාල දූෂණයකට ලක්වන අතර එය වැළැක්වීම සඳහා ධීවර නිලධාරීන් මඟින් ධීවර ප්‍රජාව දැනුවත් කළ යුතු බවත් විශේෂයෙන් ධීවර වරායෙන් ධීවර යාත්‍රා සාගරයට ගමන් කරන අවස්ථාවන් හිදී ඔවුන් රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු සටහන් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට පැවැසීය.

සෑම ධීවර යාත්‍රාවකම අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු භාජනයක් තිබිය යුතු අතර එම අපද්‍රව්‍ය සාගරයට මුදා නොහැර ආපසු ගොඩබිමට පැමිණි පසු පුලුස්සා දැමීමට හෝ වළ දමා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පෙර පැවැති කිසිදු රජයක් ප්ලාස්ටික් තහනම් කිරීමට අත නොතබන ලද්දේ එම සමාගම් හරහා ලැබුණු විශේෂ වාසි නිසාය. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්ලාස්ටික් තහනම් කිරීම සඳහා ගන්නා ලද තීරණයට රටේ සියලු දෙනාගේ සහයෝගය පළවිය යුතුය. එමෙන්ම අනාගත පරපුර මෙන්ම රටේ පැවැත්ම සලකා ගත් මේ වටිනා තීරණය සෑම කෙනෙක්ම ඇගැයීමට ලක්කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්