උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ඉන්දීය වෛද්‍යවරුන් මෙහි ගෙන්වා ගැනීමට දරන වෑයමට දැඩි ලෙස විරෝධය පළ කරනවා

  👤  2587 readers have read this article !
By mawbima 2018-03-21

ජේ.ටී. ද සිල්වා

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මෙරට වෛද්‍යවරු පිළිබඳ විරෝධයක් මතු කර, ඉන්දියාවේ සිට ඉන්දීය වෛද්‍යවරු ගෙන්වා ගැනීමට දරන ප්‍රයත්නයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස විරෝධය පළ කරයි.

කිසිදු නිල පාර්ශ්වකරුවකුගේ අදහස් විමසීමකින් තොරව, සෞඛ්‍ය පළාත් විෂයක් ලෙස ලැයිස්තු ගත කිරීම වැරැදි තීරණයක් ලෙස වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
පසුගිය කාලය තුළ පළාත් සභාවලින් සෞඛ්‍ය ප්‍රඥප්ති අනුමත කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, උතුරු මැද පළාත් සභාව විසින් එම බල ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන්ට පළාත් සභාවලට අන්තර්ග්‍රහණය වන ලෙස දැනුම්දී ඇතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

සෞඛ්‍ය සේවාවේ දර්ශක ආරක්ෂා කරන රටවල්, සෞඛ්‍ය මධ්‍යම රජයේ විෂයක් ලෙස පවත්වාගෙන යන බවත්, ෆෙඩරල් ව්‍යුහයක් ක්‍රියාත්මක වන රටවල පවා සෞඛ්‍ය මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

ෆෙඩරල් යන වචනයට අර්ථකථනයක් දෙමින් ජාතික ප්‍රතිපත්ති අහෝසි වන ලෙස බලය විමධ්‍යගත කිරීමට කටයුතු කර ඇත්තේ කාගේ වුවමනාවටද යන්න තම සංගමය විමසා බැලූ බවත්, එහිදී හෙළිවූයේ අප රටේ සේවාවන් විනාශ කිරීමට අවශ්‍ය විදේශ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල දැක්මට සහ ඉල්ලීමට අනුව මෙම කටයුතු සිදුවී ඇති බව යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලාංකික පුරවැසියන් සහ නිල පාර්ශ්වකරුවන් සහභාගි කර ගැනීමක් සිදුකර නැති බැවින්, තම සංගමය මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යෝජනා පහක් ඉදිරිපත් කළ බවද හෙතෙම පැවැසීය. සෞඛ්‍ය සේවාව දීපව්‍යාප්ත සේවාවක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කිරීම, ව්‍යවස්ථාවේ 154ඊ යටතේ ඇති ජනාධිපතිවරයා සතු බලතල අඛණ්ඩව පවත්වා ගෙන යෑම, ආණ්ඩුකාරවරයා සතු දැනට පවතින බලතල ආරක්ෂා කිරීම, සමගාමී ලැයිස්තුව හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ මධ්‍ය බලය ආරක්ෂා කිරීම සහ අදාළ ක්‍රියාවලිය සඳහා නිල පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සහතික කිරීම සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව හෙතෙම සඳහන් කළේය.

මෙම කරුණු ආරක්ෂා කරගත නොහැකි වුවහොත් රටේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මභාවය බිඳ වැටීම, රටේ ඕනෑම තැනකින් ගුණාත්මක සේවයක් ලබා ගැනීමේ හැකියාව අහිමි වීම, සෞඛ්‍ය සේවයේ සමානාත්මතාව බිඳ වැටීම, විශේෂඥ වෛද්‍යවරු අනෙකුත් වෛද්‍යවරු හා තාක්ෂණික සේවා සපයන්නන් රට තුළ රඳවා ගැනීමේ හැකියාව තර්ජනයට ලක්වීම සහ ජාතික ප්‍රතිපත්ති තුළින් සාර්ථකව පවත්වාගෙන යන සෞඛ්‍ය ක්‍රමවේදය බිඳ වැටීම හා ප්‍රාදේශීය දේශපාලන බලපෑම්වලට යටත් වීමේ අවදානම් ඇති වීමද සිදුවිය හැකි බව වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දුන්නේය.

යෝජිත පළාත් සෞඛ්‍ය ප්‍රඥප්ති සඳහා ආණ්ඩුකාරවරු මෙතෙක් අස්සන් තබා නොමැති බවත්, එසේ අස්සන් කළහොත් එම ප්‍රඥප්ති බලාත්මක වී ව්‍යාකූල තත්ත්වයක් ඇති වන බැවින් එය වැළැක්වීම සඳහා ජනාධිපතිතුමන් මැදිහත් වීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon