පළාත් සභා සීමා නිර්ණයේදී පූජාපිටිය දෙකඩ කිරීමට අපෙන් දැඩි ලෙස විරෝධය

  👤  2725 readers have read this article !
By mawbima 2018-03-21

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

පළාත් සභා කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකඩ කර හතරලියද්දට සහ අකුරණට එක් කිරීමෙන් පූජාපිටිය ඉවත් වීම පිළිබඳ තමන් වහන්සේ දැඩි ලෙස විරෝධය දක්වන බව පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන හිමිවරු පවසති.

මේ සඳහා නිසි විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ජනතාව සමඟ මහ පාරට බැසීමට සූදානම් බව පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සාමාජික හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (19දා) පැවැති රැස්වීමේදී උන්වහන්සේලා මෙසේ අවධාරණය කළහ.

පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමියෝ,

පළාත් සභා සඳහා නව කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය කොට්ඨාසයට බලවත් අසාධාරණයක් සිදුවෙනවා. පූජාපිටිය ප්‍රාදේශීය ලේ්කම් කොඨාසය කියන්නේ 70,000ක පමණ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක්. විහාරස්ථාන 68ක් සහ දහම් පාසල් 52ක් එම ප්‍රදේශයේ තියෙනවා. මේ කොට්ඨාස නිර්ණයේදී මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට බෙදලා ග්‍රාම නිලධාරි වසම් 41ක් හතරලියද්ද කියන කොට්ඨාසයටත් තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 26ක් අකුරණ කියන කොට්ඨාසයටත් එක් කර තිබීම හරිම අසාධාරණයක්. මෙලෙස කටයුතු කිරීමෙන් පූජාපිටියේ සමස්ත මහජනතාවම ප්‍රදේශ දෙකෙන්ම සුළුතරය බවට පත් කරලා තියෙනවා. අකුරණත් හතරලියද්දෙත් සුළුතරය බවට අප පත් කරලා තියෙනවා. මේ තත්ත්වය යටතේ පූජාපිටියේ පන්සල් 68ක් නියෝජනය කරන දහම් පාසල් 52ක් නියෝජනය කරන පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මින් පසු පළාත් සභා මන්ත්‍රිවරයෙක් පත් වන්නේ නෑ.

මේ සීමා නිර්ණය කරලා තියෙන්නේ මහා සංඝරත්නය හැටියට අපෙන් අදහස් විමසලා නෙවෙයි. පූජාපිටිය කොට්ඨාසයේ පමණක් නොව මහනුවර ජනතාවවත් මේ ගැන දැනුවත් වෙලා නෑ. අපේ දිස්ත්‍රික්කයේම වැඩ වාසය කරන මහ නායක මහ නාහිමිවරුන් වහන්සේ දැනුවත් කරලා තියෙනවා. සියලුම විහාරස්ථාන නියෝජනය වන විදියට ලිපියක් සකස් කරලා ජනාධිපතිතුමන් වෙත යොමු කර තිබෙනවා. ඒ කිසිවකට මෙතෙක් නිසි විසඳුමක් ලැබිලා නෑ.

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කියන්නේ ඓතිහාසික කොට්ඨාසයක්. ලංකාවේ තිබෙන විශාලතම ශාසනාරක්ෂක බල මණ්ඩලය තියෙන්නේ මෙහේ. මේ සියල්ල නොසලකා හරිමින් මහ සංඝරත්නය සුළුතරය බවට පත් කරමින් දෙපැත්තකට බෙදලා දාලා පූජාපිටිය කියලාකොට්ඨාසයක් නිර්මාණය නොකිරීම කොච්චර අසාධාරණයක් ද කියලා ඕනෑම කෙනකුට පේනවා. පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය විධියට විතරක් නොවෙයි. සියලු සංවිධාන වශයෙන් අපි යෝජනා කරන්නේ පූජාපිටිය නමින් වෙනම කොට්ඨාසයක් නිර්මාණය කරන්න කියලයි.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ කාරක සංඝ සභික උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ සම ලේකම් මාදිපොළ ධම්මික හිමියෝ,
මෙතෙක් හරිස්පත්තුව කියලා තිබුණු මැතිවරණ කොට්ඨාසය හාරිස්පත්තුව සහ අකුරණ කියලා කොට්ඨාස දෙකකට බෙදලා තියෙනවා. එයින් පූජාපිටිය ප්‍රාදේශීය ලේ්කම් කොට්ඨාස දෙකට කඩලා කොටසක් හතරලියද්දටත් කොටසක් අකුරණටත් එක් කරලා තියෙනවා. ඒක විශාල අසාධාරණයක්. පූජාපිටිය කියන්නේ ඓතිහාසික කොට්ඨාසයක්.

හාරිස්පත්තුවේ සිංහල බෞද්ධ ජනතාවක් ජීවත් වන අවුරුදු 2000කට වඩා පැරැණි ගම්මාන මෙහි තිබෙනවා. ඒ වගේම ඓතිහාසික විහාරස්ථාන පිරිවෙන් රැසකින්ද දේවාලවලින්ද සමන්විත වෙනවා. නව සීමා නිර්ණය කිරීම නිසා සිංහල බෞද්ධ ඓතිහාසික බැඳීම් බිඳ වැටී තිබෙනවා. මාලිගාව සම්බන්ධ විහාරස්ථාන තුනක් වූ අංකුඹුර රජමහ විහාරය මාලගම්මන රජමහ විහාරය සහ කළුවාන රජ මහා විහාරය හාරිස්පත්තුවේ තිබෙනවා.

මේ බෙදීම නිසා විහාරස්ථානවලින් කොටසක් අකුරණ කොට්ඨාසයටත් කොටසක් මෙතෙක් කිසිදු සම්බන්ධතාවක් නොමැතිව තිබූ හරලියද්ද කොට්ඨාසයටත් එක් වෙනවා. මහාවංසයට අනුව ඓතිහාසික පුරාවස්තුන්ගෙන් සෙල්ලිපිවලින්් සමන්විත ඓතිහාසික භූමියක්. මේ ඓතිහාසිකත්වයට ඒ වගේම හාරිස්පත්තුව සහ පූජාපිටිය අතර පවතින දැඩි බැඳීමටත් කිසිදු හානියක් නොවන ආකාරයෙන් මේ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කළ යුතු බවද උන්වහන්සේ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon