අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරෙන්නේ විධායකයෙන් නම් අල්ලස් කොමිසම ස්වාධීන යැයි ප්‍රකාශ කළ හැකිද?

  👤  2859 readers have read this article !
By mawbima 2018-03-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

අභිමතානුසාරී බලයක් හිමි තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරනුයේ විධායකය විසින් නම්; අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට නඩු පැවැරීමේ බලය හිමිවූ විට අපක්ෂපාතීව හෝ ස්වාධීනව එම කටයුතු සිදුවන්නේ යැයි කීමට ඔබට හැකිකමක් තිබෙන්නේ දැයි අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා පෙරේදා (19දා) නීතිපතිවරයාගෙන් විමසා සිටියේය.

යෝජිත අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති විශේෂ විමර්ශන පෙත්සම් පිළිබඳ විභාගයේදී 'නීතිපති වාචකය' ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගෙන් අගවිනිසුරුවරයා එලෙස විමසා සිටියේ ඔහු ඉදිරිපත් කළ කරුණක් සම්බන්ධයෙනි.

යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ අල්ලස් හෝ විමර්ශන කොමිසම යනු ස්වාධීන කොමිසමක් බවත් එබැවින් නඩු පැවරීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම පනත මඟින් බලයක් ලබාදීමේ කිසිදු වරදක් නොමැති බවය.

ඒ නිසාම පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් ඒ සම්බන්ධයෙන් මතුකොට ඇති විරෝධතාවේ කිසිදු පදනමක් නොමැති බවද ඔහු කියා සිටියේය.

මේ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රධානත්වය දැරූ අගවිනිසුරුවරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අමතමින් වැඩිදුරටත් විමසා සිටියේ, විධායකය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයකුට යම් බලපෑමක් හෝ බලකිරීමක් වුවද සිදුකිරීමට විධායකයේ යම් ඉහළ නිලයක් දරන්නකු හට ඇති අවකාශයත් ඒ අනුව සිදුවිය හැකිව ඇති අවදානමත් බැහැර කළ නොහැකි බවය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් 06 දෙනකුට එනම් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ නවීන් මාරපන සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු හා ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් යන සියලු දෙනාම කියා සිටියේ මෙම යෝජිත සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉඩ තැබුවහොත් රටටත් ජනතාවටත් ඉන් සිදුවන බරපතළ හානිය පූර්ණය කළ නොහැකි බවය.

එබැවින් මෙම බරපතළ හානිදායක ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතා විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රිවරුන් සංඛ්‍යාව (නොපැමිණ සිටින අයද ඇතුළුව) ගෙන් 2/3ක බහුතර ඡන්දයෙන්ද තවදුරටත් ජනමත විචාරණයක් මඟින් සමස්ත රටවැසි ඡන්ද දායකයන්ගේ බහුතර කැමැත්තෙන්ද තොරව සම්මත කළ නොහැකි බවට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අනුල්ලංඝනීය හා උත්තරීතර බලය භාවිත කරමින් මත ප්‍රකාශයක් නිකුත් කරන ලෙසද ඔවුහු එකහෙළාම ඉල්ලා සිටියහ.

උදේ 10.00 සිට පස්වරු 4.30 වනතුරුම පැවැති පෙත්සම් විභාගය නිමා කරන ලද්දේ ඊයේ (20දා) පෙරවරු 11.00ට යළි ආරම්භ කරන බවට ප්‍රකාශ කරමිනි.
බුවනෙක අලුවිහාරේ හා නලින් පෙරේරා යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විතව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon